Tagged: බ්ලොග් බයිලා

එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Picture123

පැ(කැ)ම්පස් සින්ඩිය පිළිබඳව ඇනෝනිමැස්සෙකු හා පැවැත්වූ විශේෂ සංවාදය.

ඒ පාර මොකක්ද මේ පැම්පස්…?
මේ මොකක්ද කියන එක පැම්පස් කියන නමෙන්ම තේරෙනවා. පැම්පස් කියන්නේ හැමෝම පාවිච්චි කරන දෙයක් නෙමේ. මේක හැමෝටම තියෙන දෙයක් නෙමේ. විශේෂිත පිරිසකට තියෙන දෙයක්. කැම්පස් ගිය, යන අයට තියෙන දෙයක්.

එතකොට මොකාද මේක කරන්නේ ප්‍රශ්නය රාමයාට ඇති උනේ ඇයි?
රාමයාට දෙයක් ගැටලුවක් වෙන්නෙ එයාගේ සම්පත් දායකයින්ට රිදෙනවා නම් විතරයි. එතනින් එහාට මහින්ද මහත්තයායා පෝලිං කරලා මෙව්වා කරත් එයා කියන්නේ ඔහොම දේවල්ද ලෝකෙ සිද්ද වෙලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ වෙද මහත්තයෙක්ටත් කතා කලාලු. ඇත්තටම පැම්පස් සම්බන්ධ කාරණාවක් නිසා වෙද මහත්තයෙක්ට කතා කරපු එක හොඳයි. ලලීන් නම් ඉතින් අහවල් දේට කතා කරත් හා කියන හාදයානෙ.

ඇයි එතකොට තියෙන සින්ඩි මදිද…?
ඔව් ඇත්තටම අපි ලැට් එකට ගිහින් එතනදි කරන්නෙ බොග දාන එක. කැම්පස් එකේ ලැට් එකෙත් කරන්නෙත් ඒක. අරලිය මල් මන්දිරේ ලැට් එකේ කරන්නෙත් ඒක. කැම්පස් උප සංස්කෘති ඇතුලෙ නම් සමාර කැම්පස් වල ලැට් කටවල් වලට ජූනියස්ලගේ මුහුන ඔබලා රැග් දෙන විශාල උප සංස්කෘතියක් තිබෙනවා. සාමාන්‍ය සමාජයේ අපිට ඒක පිළිකුලක් . නමුත් උගත් බුද්ධිමත් උප සාංස්කෘතික උරුමයක් සහිත අයට ඒක ඒ තරම් ගැටලුවවක් නැතිව ඇති. ඒ නිසා ඒ වගේ විශාල උප සංස්කෘතික දායාදයක් තියෙන තැන්වලට කැම්පස් නොගිය බ්ලොග් කරුවන් දිරවන්නෙ නැතිව ඇති. ඒ නිසා මේවගේ දෙයක් වැදගත් වෙයි.

එහෙම වෙන් වෙනවට වඩා, එකමුතු වෙන එක නේද වෙන්න ඕන..?
පිස්සුද? හතු පිපෙන්නා වගේ සින්ඩි ආවටට ඒවයෙ ලිපි වැටෙන්නේ එකගොඩේ. පැම්පස් පාවිච්චි කරන අයව විශේෂයෙන් හොයාගන්න බෑ. පැම්පස් කුලයේ අයව වෙනම වෙන් කරලා ගන්න ඕනේ. දැන් බලන්න කතන්දර. කොච්චර අර්ථාන්විත බ්ලොගයක්ද? ඒ වගේ අර්තාන්විත දේවල් ලියන්න පුළුවන් පැම්පස් කුලේ අයට විතරයි. අනික් උන් මොක්කුද!

එතකොට අපිට කොහොමද උදව් කරන්න පුළුවන්?
මේක තියෙන්නේ පැම්පස් අඳින අයට විතරයි. අනික් අයට් පුලුවන් එයාලා පැම්පස් අදින දිහා බලන් අත හොලවලා කොලේක පිහගන්න.

වැඩක් වෙයිද..?
හොඳම උදාහරණය කවිතා වැඩ සටහන. ඔය කවිතා කියන්නෙ නිකං මොන්ටිසෝරි උත්සවයක් වගේ එකක්. නැටුං පුරුදු කරලා.. දෙමාපියන් ඔක්කොම කරල දීල ලමයිට තියෙන්නෙ ගිහින් එතන නටලා ආතල් එකක් අරං එන්න. එස්බී විසින් ගෙනාපු හොද ජාතියෙ ලනුවක් තමයි කවිතා කියන්නෙ. අවුරුදු විසි ගානක් වෙන තරුණයොන්ට අඩුගානෙ මියුසිකල් ඉවන්ට් එකක් තනියම ඕගනයිස් කරගන්න බැහැ. ඒකටත් ආන්ඩුවෙන් සල්ලි හිගාකාලා අර මොන්ටිසෝරි විවිධප්‍රසංගයෙක් වගේ එකක් තියෙනවා. ඒකෙන් විසාල දෙයක් වෙනවා කියලා හැමෝම කියනවා. නමුත් මේ තාක් වෙනකල් කැම්පස් වල ළමයි ගෙනගිය කළා උලෙලවල් ශිෂ්‍ය සංගම් විසින් ගෙනගිය කලා වැඩසටහන් සියල්ල ඩෝසර් කරලා ඒකට උඩින් දැම්මා කවිතා කියන අලුත් පස් ලොඩ් එකක්. මේ ලලියා වගේ අන්ඩුවෙ ලේක් හවුස් කියන කුස්සියෙ දංකුඩ හූරන උන්ට ඕව දැකල චුන් වෙනවා ඇති. ඒත් අපිට නම් කිසිම ආතල් එකක් නැහැ කවිතා වල.

පැම්පස් සින්ඩිය කා සඳහාද….?
ඇත්තටම ඩිග්‍රියක් ගත්තු එක්කෙනෙක්ගේ ළමයෙක් කියන්නෙත් අනුහස් තියෙන පරානයක්. මම නම් හිතන්නෙ උපාධි ගත් අයගේ ළමයි වර්ගීකරනය කරලා එයාලටත් සිංඩියක් හදලා දීල තියෙනවා නම් හොදයි. එතකොට අපිට දෙමාපියන් දෙදෙනාම ඩිග්‍රි කරුවන් නම් ඒ අය ගැන වඩාත් විශේෂ සැලකිල්ලක් දක්වන්නට හැකි වේවි.

අප්පට සිරි තෑගිත් දෙනවද….?
මේ සිංඩියේ ලියාපදිංචි කරන්නෙ උපාධි සහිත අය විතරයි. එතකොට ත්‍යාග සහතික දොලපිදේනි දීල ෆෝම් කරන්නෙ අර උපාධී සහිත සහ උපාදි ගන්නට පෙරුම් පුරන අය විතරයි. මෙතනදි මේ අය අවිඥානිකවම කරන්න හදන්නෙ තමුන්ගේ නැතිවෙල ගිහිපු කිරුළ රැකගන්න එක. සාමාන්‍ය සමාජයේදී උපාධි කාරයෙක් කිව්වම මිනිස්සු සලකනවා. කලිසමක් ඇදල බස් එකට නගින ඕන එකෙක්ට බස් එකේ කොන්දා මහත්තයා කියනවා වගෙ උපාදියටත් ලංකාවෙ තියෙන උපාධි ගැන නොදන්න ගැමියො සලකනවා. එතකොට ලංකාවෙ සාමාන්‍ය සමාජයෙදි උපාධිය කියන්නෙ පොරත්වය ඇතිකරගන්න ලැබෙන ආබරණයක් වගේ එකක්. නමුත් සයිබර් එකේ උපාධි කාරයෙක් කියන්නෙ කිසි වැදගත් කමක් ඇති අය නෙමෙයි. ඉතාම සුලුතරයක් සිය අධ්‍යාපනයෙන් උගත් දේවල් අනික් අයට ලබාදෙන්න සහ අලුත් දේවල් හිතන්න උත්සාහ කරනවා. නමුත් අනික් බහුතරය කරන්නෙ කැම්පස් ඇතුලෙ කරපු දේවල් කරපු විහිලු අපිට කියලා අපෙන් කොමෙන්ට් හිගා කන එක. පේරාදෙනියෙ ඉංජිනේරු මහත්තයා ගූ ගොඩ පවා හිට් කරලා හිට් හිගා කනවා. ඉතිං ඒ වගේ අයගෙන් මේ සමාජයට වෙන සේවේ අර පත්තර වල තියෙන දෙයියෝ සාක්කි, අනේ බොලං, වගේ ආටිකල් කෑලි ලියලා දෙන එකද? මේ වගේ සයිබර් එක ඇතුලෙදි සුන්නද්ධූලි වෙලා යන තමුන්ගේ උපාධියට තැනක් හදාගෙන කස්ටියක් සෙට් කරගන්න මේ අයියලා උත්සාහ කරනවා. ඉතිං මේ වැඩේ ඉතාම හොඳයි. කරගෙන යනකොට අපිටම ලංකවේ බුද්ධිමතුන්ගේ බුද්ධිමය වැඩ ගැන අවබෝධයක් ඉබේම ලැබෙයි.

එතකොට කව්ද ඔය ජයග්‍රාහකයෝ තෝරන්නේ..?
කතන්දර ඇල්කෙලියා වගේ බ්ලොග් අවකාසේ පට්ට එක්පීරියන්ස් තියෙන අය සෙට් එකක්. වණ්ඩුආප්ප, ටියුබ්, ගදරූ, රාමයා වගේ පට්ට සාහිත්‍යකාරයෝ සෙට් එකක්. මේවා තෝරන අය පැම්පස් කුලයේ නොවුනට අවුලක් නෑ. වැඩේ වෙනවනම් පූසා මැටියෙන් උනත් මොකෝ. තව එස් එම් එස් ක්‍රමේකුත් තිබුණනම් වඩා හොඳයි. එතකොට වැඩිපුරම සිම් තියෙන කෙනාටත් චාන්ස් එනවා.

එතකොට මෙහෙම එකක් විශේෂයෙන් ආරම්බ කිරීමට හේතුව ?
එකම මොරා කැම්පස් උන් හැමදාම එන්ඩීටී උන්ට තඩිබානවා. ඒ වගේම දොස්තරලා කැමති නැහැ නර්ස් අක්කලා ඩිග්රියක් ගන්න එකට. කැම්පස් කැම්පස් අතරත් හැමදාම වලි. විශ්ව විද්‍යාල වලට එන අයට තියෙන්නෙ සහතිකේ ලබා ගැන්ම, බඩුවක් දාගැන්ම, හොද රස්සාවක් ලබා ගැන්ම, වාගේ පුද්ගලික අරමුණක් විතරයි. එයාලට සන්නිවේදනය කියල සබ්ජෙක්ට් එකක් තිබුනොත් ඒකට හොද අකුරක් ගන්න ලොකු උත්සාහයක් ගනිවි. එහෙම නැතුව සන්නිවේදන කුසලතා දියුනු කරගන්න නම් ඔය කවුරුවත් පෙනී සිටින්න එකක් නැහැ. බොදු බල සේනාව, කිරිබත්ගොඩ ගානානන්ද වගේ සෙට් පිටිපස්සෙන් අද වෙනොකට වැටිල ඉන්නෙත් කැම්පස් ගිහිපු බහුතර සිසුන්. ඒත් එක්ක ඒ අයගේ දේශපාලනික දැනුම ගැන අපිට තරමක් හිතාගන්න පුළුවන්. මලාලා වගේ චරිත කවදාවත් අපේ මේ තියෙන රජයේ කැම්පස් වලින් නම් බිහි වෙන් නැහැ. ඒත් මේ පැම්පස් වැඩපිළිවෙල නිසා එක මලාලෙක් හරි ඇති වෙනවනම් ඒක තමයි ඒ අයගේ ජයග්‍රහණය.

එතකොට මොනවද ලියන්නේ..?
කතන්දර වගේ ඕනෙම දෙයක් ලියන්න පුළුවන්. කක්කා කතා, පඩ කතා, චූ කතා, ජී කතා ඕනෙම දෙයක්. හැබැයි හොඳ සාහිත්‍ය දැනුමක් තියෙන්නේ කැම්පස් ගිය අයට විතරයි. පැම්පස් සින්ඩිය බැලුවම හැමෝටම තේරෙයි කැම්පස් ගිය අය තරම් සාහිත්‍යමය දේශපාලනමය දැනුමක් වෙන කාටවත් නැති බව.

එච්චරද…?
අපෝ නෑ තව කොච්චර තියෙනවද! පොලුකාරයිනට් කැම්පස් ගිය අයව වෙනම කැටගරියකට ගන්න පුළුවන්. බඩු කාරයින්ට ලේසියෙන් කැම්පස් බඩු සිලෙක්ට් කරගන්න පුළුවන්.

එතකොට අනික් උන්ට හුළංද….?
නෑ නෑ. මං හිතන්නේ මේ අය මේකේ ඊළග පියවටර විදිහට කැම්පස් එකේ අනද්‍යන සේවකයින්ට වෙනම සින්ඩියක් ආරම්භ කරන්න ඉන්නවා පැම්පස් වරහන් ඇතුලේ අනද්‍යන කියලා. මොකද එයාලත් ලෙක්චර්ස් යන්න වාසනාව නැති වුනාට කැම්පස් යන්න වාසනාව ලබපු අය.

මේ වගේ ශ්‍රේෂ්ඨ අදහසක් පහළ උනු මා නොතලන් මහතා ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්තටම එතුමා මීට වඩා එතුමාගේ ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමු කරනවනම් හොඳයි. බඩ පොඩ්ඩක් අඩු කරගැනීම ගැන වැඩි අවධානක් යොමු කළයුතුයි. ඒ සේරටම වැඩිය එතුමා එතුමාගේ මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමුකරනවා නම් වඩා හොඳයි. එතුමා නිතරම මානසික ව්‍යායාම වල නිරත වෙන එක බොහොම වැදගත් වෙයි. එහෙම උනොත් එතුමාට හිටි හැටියේ ඇතිවෙන විකාර රූපී මඤ්ඤං අදහස් බොහොමයක් නැති වෙන්න තිබුණා.

අවසාන ප්‍රශ්නය. ඔවුන්ගේ මෙම පැම්පස් සින්ඩිය පිළිබඳ මා නොතලන් මහතා ලියූ ලිපියේ Syndi යන්න Cyndi ලෙස ලිවීම හා ඔවුන්ගේ පැම්පස් සින්ඩියේ යූ.ආර්.එල් එක cam + pussy+ ndi ලෙස නම් කිරීම අතර සම්බන්ධයක් තිබෙනවාද?
කරුණාකරලා මේ වගේ වැදගත් මාධ්‍යක ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහනකොට වැදගත් ප්‍රශ්න විතරක් අහන්න. මේවට උත්තර දෙන්න මම බැදිලා නෑ. ඒත් මට පහත පින්තූරය පෙන්නන්න පුළුවන්.

Cam+Pussy

ආචාරධර්ම, ප්‍රකාශන අයිතිය සහ තවත් සිංහල බ්ලොග් බයිලා

ලියුම්කරු මීට මාස කීපයකට කලින් නිර්නාමිකත්වය සහ ව්‍යාජනාමිකත්වය පිළිබඳ ලිපියක් ලියුවේය. එය අතලොස්සක් දෙනා කියවීය. කාරණා තේරුම්ගත් පිරිස ඉතා අල්ප විය හැකිය. ලියුම්කරුට ඒ ලිපිය ලියන්නට හේතු වූයේ එදා සිංහල බ්ලොග් අවකාශය තුල නිර්නාමිකයින් පිළිබඳව ඇතිවී තිබූ හාස්‍යජනක කතාවන්ය. එම සිද්ධිදාමයේ අවසන බොහෝ දෙනා නිර්නාමිකත්වය පිලිබඳ තරමක අවබෝධයක් ලබාගත් බව ලියුම්කරුගේ හැඟීමයි. නිර්නාමිකත්වයට අකමැතිව සිටි තවත් පිරිසක් එක සිද්ධිදාමය අවසන නිර්නාමිකයින් පිළිබද තමන්ගේ අකමැත්ත තවත් වැඩි කරගත් බවද ලියුම්කරුට පෙනිනි. කෙසේ හෝ අද වනවිට තවත් නව මාතෘකා කිහිපයක් පිලිබඳ සිංහලබ්ලොග් අවකාශය තුල කතිකාවන් ගොඩනැගී ඇත. තැන් තැන් වල බ්ලොග්වල අදහස් දැකීව්ම්, ලිපිවල ප්‍රකාශන හිමිකම හා බ්ලොග් අවකාශයේ පොරවල් නමැති මාතෘකා යටතේ හාස්‍යජනක කතා නිර්මාණය වී තිබේ. ලියුම්කරුගේ මේ උත්සාහය ඒ අදාල කාරණා විමසීමට ලක්කිරීමයි.

ලියුම්කරුගේ නෙත ගැටුනු පළමු ලිපිය වන්නේ සුදීක නමැත්තෙක් බ්ලොග් සඳහා අන්තර්ජාලය අස්සකින් සොයා ගත් ආචාරධර්ම පද්දතියක්(Code of conduct) හඳුන්වා දීමට යාමයි. එහිදී ඔහුගේ ලිපිය සම්බන්ධව වැටුනු බොහොම තාර්කික අදහස් විමසීමකට කල් කළොත් ඕනෑම අයෙකුට සුදීකගේ උත්සහයේ අසාර්ථක බව හොඳින්ම පෙනෙයි. එම ලිපියට වැටුනු අදහස් හිදී ලියුම්කරුට ලියන්නට විශේෂ යමක් ඉතිරි නොකරම සෑම අස්සක් මුල්ලක් පිලිබඳවම අදහස් දක්වන්නන් විසින් පෙන්වා දී තිබිණි. ලියුම්කරු මේ උත්සහ කරනුයේ ආචාරධර්ම පද්ධතියක්(Code of conduct) යනු කුමක්දැයි විමසා බලන්නටය.

ආචාරධර්ම පද්ධතියක් පවතින්නේ කිසියම් සංවිධානයක් හෝ පක්ෂයක් තුලයි. ආචාරධර්ම පද්දතිය අනූව කටයුතු කළ යුත්තේ අදාල සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකයින් විසින්ය. සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජියෙකු විසින් අදාල ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා ඔහුට හෝ ඇයට අදාල සංවිධානය හෝ පක්ෂය මගින් ලබා දෙන උපරිම දඩුවම සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම විය හැකියි. ආචාරධර්ම පද්දතියක් යනු සංවිධානයක හෝ පක්ෂයක ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉන් සේවාව ලබනා සියලුම පාර්ශවයන්ගේ සුභසිද්ධිය උදෙසා සෑදුනු, ප්‍රතිපත්තීන්, සම්මතයන්, ක්‍රියාපටිපාටි, විධික්‍රමයන් සහ සංවිධානයේ තීරණගතයුතු ආකාරය ආදිය පිලිබඳ සඳහන්  මාර්ගෝපදේශනයක් ලෙස අපිට සරලව හැඳින්විය හැකිය.

ඉහත හැඳින්වීම් බ්ලොග් අවකාශයට ඇතුලත් කළ හැකිද? බ්ලොග් අවකාශය යනු සංවිධානයක් හෝ පක්ෂයක් නොවේ. එනම් පොදු අරමුණක් වෙනුවෙන් පෙලගැසුනු මිනිසුන් සමූහයක එකතුවක් නොවේ. විවිධ බ්ලොග් කරුවන්ගේ අරමුණු විවිධය. සිංහල බ්ලොග් අවකාශය උපාසකයින්, උපාසක බලලුන්, තාපසයින්, බඩු කාරයින්, පොලු කාරයින්, මානසික ලෙඩ්ඩුන් ආදී විවිධ පුද්ගලයන්ගේ එකතුවකි. ඔවුන් විවිධ අරමූණු හේතුවෙන් බ්ලොග් ලිවීම නිසාම මේ විවිධත්වයක් ඇති බ්ලොග් අපට කියවන්නට ලැබෙයි. සුදීක නැමැත්තා ගෙනෙනා ආචාරධර්ම කඩ කරන්නනට කුමක් කළ හැකිද? ඒ අනූව බලන කල බ්ලොග් අවකාශයට ආචාරධර්ම පද්දතියක් කෙසේනම් ගෙන ආ හැකිද?

ලියුම්කරුගේ නෙත ගැටුනු දෙවන ලිපියනම් විචාරක නම් අයෙකුගේ ලිපියක ප්‍රකාශන හිමිකම පිලිබද හාස්‍යජනක කතාවකි.(පසුව ඔහු එම ලිපිය ඉවත්කොට ඇත) ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබූයේ ඔහුගේ මෙම ලිපියේ ඇති “නෝනට ඇත්ත කියනවා” නම් කතාව වෙන අයෙකු විසින් සොරකම් කොට(එම ලිපියද දැන් ඉවත්කොට ඇත) ඇති බවකි. ලියුම් කරු මේ පුවත දුටු සැනින්ම සිදුකලේ විචාරක නමැත්තාගේ ලිපියෙහි උපුටා ගත් තැන් ඇතිදැයි බැලීමයි. ඔහු එම ලිපියට භාවිතා කළ පින්තූර ගත් ස්ථානයන්ට සබැඳි ලබාදී තිබුණද ලිපිය කොතැනකින් හෝ උපුටා ගත් බවක් සඳහන් වී නොතිබිණි. එහෙත් එය ඔහුගේම නිර්මාණයක්දැයි ලියුම්කරුට සැකයක් ඇති විය. සරල ගූගල් සෙවුමකින් ලියුම්කරුට සොයාගත හැකි වූයේ විචාරක නමැත්තා ඔහුගේ යැයි කියන ලිපිය ඔහුගේ නිර්මාණයක් නොව අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් ලියවූවක් ඔහු විසින් පරිවර්තනය කිරීමක් බවයි. විචාරක නමැත්තා විසින් එම ලිපිය ඔහු උපුටා ගත් ස්ථානය සඳහන් කොට නැත. කොපි පුස්සෙකු විසින් කොපි පුස්සෙකුට කළ අභියෝග ලිපිය දැන් මකා දමා ඇතත් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස අන්තර්ජාලය තුලප්‍රකාශන හිමිකම  පිලිබදව තොරතුරු සොයා බැලීමට ලියුම්කරු පෙළඹිනි.

සිතන්න ඔබ විසින් “ඔබගේම කතාවක්” ඔබේ බ්ලොග් අඩවියේ පලකළා යැයි. එය පලකළ විගසම ප්‍රකාශන හිමිකම් නීති යටතේ(Copyright law) එම ලිපියේ අයිතිය ඔබ සතු වෙනවා. ඔබේ ලිපිය කිසිවෙකු විසින් නැවත පලකිරීම වරදක්ද? සැබැවින්ම එය වරදක් වන සහ නොවන අවස්ථා තිබේ. යහ භාවිතය(fair use) යටතේ කිසියම් පුද්ගලයෙකුට ලිපියක කොටස් උපුටාගැනීමේ අයිතිය තිබෙනවා. යහ භාවිතය යටතේ ලිපියක කොටස් යොදාගත හැකි අවස්ථා නම්…

  1. අධ්‍යාපන හෝ තාක්ෂණික කටයුත්තක් වෙනුවෙන් උපුටා දැක්වීමට
  2. අදහස් දැක්වීම් හෝ විවේචනය කිරීම් වෙනුවෙන්
  3. උපහාසයට ලක්කිරිම සඳහා
  4. පුවත්පත් වාර්තාවක් සඳහා ලිපියේ සාරාංශයක් උපුටා දැක්වීමට
  5. සහ තවත් බොහෝ අවස්ථා වලදී

සිංහල බ්ලොග් යනු බොහෝවිට ව්‍යාපාරික අරමුණුවලින් නොව හුදු විනෝදාංශයක් ලෙසට පවත්වාගෙන යන බ්ලොග් අඩවිවේ. එවැන්නකින් ලිපියක් ගෙන අදාල මුල් ලිපියට සබැඳියක් සහිතව තවත් ව්‍යාපාරික අරමුණකින් පවත්වාගෙන යනු නොලබන අඩවියක දැමීම කිසිසේත්ම වරදක් නොවේ. ඔබට සිතෙනවානම් ඔබේ බ්ලොග් ලිපියක් යමෙකු සොරකම් කර ඇතැයි ඔබ කළ යුත්තේ ඔබේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් ලියා අදාල තැනැත්තාට හෝ තැනැත්තියට විරුද්ධව යුධ ප්‍රකාශකිරීම නොවේ. හැකිනම් ඔහුගේ පුද්ගලික ඊමේල් ලිපියනක් වැන්නකින් ඔහුගෙන් හෝ ඇයගෙන් කරුණු විමසීමයි. ඔහුට හෝ ඇයට එම ලිපිය උපුටාගත් ඔබේ ලිපියට සබැඳියක් සටහන් කිරීමට පැවසීමයි. ඔබේ කීමට අදාල තැනැත්තා ඇහුම්කන් නොදේනම්, ඔබට අදාල ලිපිය අන්තර්ජාලයෙන් ඉවත් කළ යුතුමනම් සහ අදාල අන්තර්ගතය වෙනුවෙන් සටන් කිරීමට තරම් ඔබට හේතුවක් වේනම් ඔබට නීතිමය පිහිට පැතිය හැකියි. නමුත් අන්තර්ජාල ලියන්නෙකු ලෙස ඔබ අන්තර්ජායේ හැසිරීම තේරුම් ගතයුතුය. අන්තර්ජායල තුල ලියවෙන ලිපි පලකළ සැනින් තවකෙක් එක තවත් තැනක පලකිරීම අප දකින සුලභ සිද්ධියකි. විටෙක එක මුල් ලිපියට සබැඳියක් සහිතවද විටෙක සබැඳියක් රහිතවද සිදුවෙයි. යමක් උපුටාගන්නා විට එය උපුටාගන්න ස්ථානය සදහන් කිරීමට වගබලා ගැන්ම උපුටා ගන්නා තැනැත්තාගේ යුතුකමකි.අන්තර්ජාලයේ ලිපියක් පලකිරීමෙන් පසුව එහි කතෘ අයිතිය 100%ක් සුරැකේයැයි බලාපොරොත්තු විය නොහැක. එය කිසිසේත්ම යහපත් දෙයක් නොවන බව සැබෑවකි. නමුත් අද පවතින තත්වය, අන්තර්ජාලයේ හැසිරීම එය බව අප තේරුම්ගත යුතුව ඇත. තමන් අන්තර්ජාලයෙන් තමන්ගේ ලිපියට යොදාගන්නා පින්තූරයට පවා සබැදියක් ලබාදෙන කතන්දරකාරයා වැන්නවුන්ට ලියුම්කරුගේ ආචාරය හිමිවේ.

ලියුම්කරුගේ නෙත ගැටුනු තවත් ලිපි දෙකකි. එකක් නම් එක්තරා විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක්යැයි කියාගන්නා අයෙක්ට අන්තර්ජාලය තුල “සෑර්” යැයි අමතා නැති නිසා හිතේ දුකට ලියවුණු සටහනක්ය. අනෙක නම් බ්ලොග් නවකයෝයැයි පිරිසක් අඳුන්වා ඔවුන්ට බ්ලොග් ලියන හැටි කියාදීමට එක්තරා “බ්ලොග් මහාචාර්ය වරයෙකු” ගත් උත්සහයකි.

අන්තර්ජාලය තුල ඕනෑම අයෙකුට ආචාර්ය වරුන්, මහාචාර්ය වරුන් විය හැකිය. ඕනෑම අයෙක් විය හැකිය. මීට ඉහතදී කළ සටහන් වලදී මෙන්ම අදාල බ්ලොග් කරුවන් දෙදෙනාත් තේරුම් නොගත් කාරණය නම් මෙය අන්තර්ජාලය බවයි. අපි සමඟ සංවාද කරනා පණිවිඩ යවනා අපට නොපෙනෙන අනෙක්පස සිටින පුද්ගලයාව අපි මින් පෙර කිසිදු දිනෙක දැක නැතිනම්, මුණගැසී නැත්නම් අපිට ඔහු කවරෙක්දැයි අනුමාන කළ නොහැකිය. ඔබ ඔබේ අදාල ගිණුම්වල ඔබේ හැබෑ තොරතුරු ඇතුලත් කළාය කියා තවකෙක් ඔබට “සෑර්” ලෙස ඇමතිය යුතුයැයි ඔබ සිතන්නේ නම් එය විකාරයකි. අනෙක් කාරණයනම් ඔහුට මචං හෝ අයියා යන යෙදුම්වලින් ඇමතීම එතරම් ඔහුට අපහසුතාවයක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. ඔහු ඔහුගේ තත්වය ගැන අධිතක්සේරුවක සිට ලෝකය දෙස බැලීම එයට හේතුව නොවේද? තමන් උගත්යැයි පුනපුනා කියනා ඒ “මචං කාරයාට” නිහතමානී පුද්ගලයෙකු වන්න ලැබේවා යන්න ලියුම්කරුගේ පැතුමයි.

ඊළඟ කාරණයනම් බ්ලොග් අවකාශය තුල ජේෂ්ඨයෝ සහ ආධුනිකයෝ පිළිබඳ කතාවය. බ්ලොග් අවකාශය තුල සිටින්නේ ලියුම්කරුවන්ය. වෙන කිසිවෙකුත් මෙහි නැත. අලුතෙන් එන්නන්න අත දෙන්නට හුරතල් කරන්නට මෙය ළඳරු පාසලක් නොවේ. එක බ්ලොග් කරුවෙක් නිසා තව බ්ලොග් කරුවෙක් ගොඩ යන්නට නොහැකිය. බ්ලොග්කරුවන්ට තම බ්ලොග් අඩවිය තුල කළ හැක්කේ ලිවීමය. ගොඩයෑම යනුවෙන් අදහස් කරන්නේ හිට්ස් සහ ප්‍රතිචාර සංඛ්‍යාවනම් එය බොහෝවිට අන්තර්ගතයෙන් ස්වායක්තය. බොහෝවිට එය රදාපවතින්නේ හිත් ඇදගන්නා මාතෘකා සහ ලිපි ලිවීමේ සීඝ්‍රතාවය යන ප්‍රධාන කාරණා දෙක මත බව පෙන්වීමට මේ බ්ලොග් අවකාශය තුල කොතෙකුත් උදාහරණ ඇත. මීට අමතරව තමන් අදහස් දක්වන තැන්හී තමන්ගේ බ්ලොග් අඩවියේ සබැඳිය එල්ලා තැබීමෙන්ද හිට්ස් යන්න රැස්කරගත හැකිය. තවද දිනකට වැටෙන සියලු බ්ලොග් අඩවි වල සියලු ලිපි වලට වචන දෙකක හෝ ප්‍රතිචාරයක් දීම මගින්ද හිට්ස් වැඩිකරගත හැකිය. අදාල ලිපිය ලියූ තැනැත්තා බ්ලොග් අවකාශයේ හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන් ලියුම්කරුගේ ඉහත කාරණා සත්‍යබව ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිවනු ඇත. බ්ලොග් අවකාශය යනු ලියන්නන් සිටින තැනකි. බ්ලොග් අවකාශය තුල හිනිපෙත්තක් යනුවෙන් දෙයක් නැත. පොරවල් නැත. සිටින්නේ තමන් පොර යැයි සිතා සිටින අය හා අරූ පොරයැයි ඇඟිල්ල දික් කරන අය පමණකි.

මේ සියලුම දෙනාට අමතකව ගිය පොදු කාරණයනම් මේ සියලු සිදුවීම් සිදුවන්නේ අන්තර්ජාලයේ බවයි. අන්තර්ජාලය යනු ඔබට අවැසි අයුරින් පාලනය කළ හැක්කක් නොවේ. කොටින්ම එය ලොව කිසිඳු ආණ්ඩුවකට අවැසි ආකාරයටවත් සකස් කළ නොහැක්කකි.