Tagged: පොලුකාරයෝ

බඩුකාරයෝ සහ පොලුකාරයෝ

බඩු කාරයෝ සහ පොලු කාරයෝ බ්ලොග්ගස්තොට ගම්මානෙ පදිංචියට ආවෙ එකම කාලෙක වගේ. මාස කීපෙක වෙනසක් විතරයි තිබ්බෙ. එයාලා බ්ලොග්ගස්තොට ගම්මානෙට ආව දවස් වල බඩු කාරයෝ කියන්නෙ බඩු කාරයෝ බවවත් පොලු කාරයෝ කියන්නෙ පොලු කාරයෝ බවවත් ගමේ කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ගම්මානේ අහල පහල ගෙවල් වල තමයි ඒ අය වාසය කලෙත්. ටික කාලෙකින් එයාලා ගජ මිතුරෝ බවට පත් උනා. එකට සෙට් උනා. එකට කෑවා. එකට බිව්වා. මෙයාලා බ්ලොග්ගස්තොට ගම්මානෙට ආවේ බොහොම යහපත් චේතනාවකින්. බ්ලොග්ගස් ටිකක් වවාගෙන කරගෙන සතුටින් ජීවත් වෙන්න හිතාගෙන.

එකට කකා බිබී කාලේ ගතවෙන අතරේ මෙයාලගේ බ්ලොග්ගස් ව්‍යාපාරේ බොහොම සරු වෙනවා. මෙයාලා වටේට මහා ගැණුම්කරුවෝ පිරිසක් එකතු වෙන්න ගන්නවා. ඒ අතරේ මේ අයව දේවත්වයෙන් වගේ සලකන අයත් ඇති වෙනවා. ඔන්න එතකොට තමයි මෙයාලට තමන් බ්ලොගස්තොට ගමට ආව යහපත් චේතනාව යටපත් වෙලා කුප්ප සිතුවිලි පහල වෙන්න ගන්නේ.

බඩු කාරයන්ට මිනිස්සුන්ගේ අනාගතේ පේන්න ගන්නවා. එයාලා බ්ලොග් ගස් ව්‍යාපාරේ අතරේ මිනිස්සුන්ගේ ග්‍රහයෝ වෙනස් කරන්න පටං ගන්නවා. පොලු කාරයන්ට මිනිස්සුන්ගේ දුප්පත් කම තේරෙන්න පටන් ගන්නවා. එයාලා බ්ලොග්ගස් ව්‍යාපාරේ අතරේ මිනිස්සුන්ට නව ආදායම් මාර්ග ඇති කරන්න දායක වෙනවා. මේ කට්ටිය බ්ලොග්ගස් ව්‍යාපාරයේ නාමයෙන් මිනිස්සු එක්කාසු කරන්න පටන් ගන්නවා. තමන්ට හිතවත් පිරිස් ඇති කරගන්නවා. ඒ අතරෙම මෙයාලා ගම්මානේ මිනිස්සුන්ව සතුටින් තියන්න අවුරුදු උත්සව වගේ දේවල් සංවිධානයටත් දායක වෙනවා.

මෙයාලගේ කුප්ප අදහස් කාටත් හොරෙන් මුදුන් පමුනවාගනිමින් ටික කාලයක් ගතවෙනවා. ඒත් පින්වතුනි සොබාදහම් නීතියට අනූව මෙයාලට මේ දේවල් දිගටම කරගෙන යන්න උනේ නෑ. මෙයාලගේ පජාත ක්‍රියා එකින් එක බ්ලොග්ගස්තොට ගම්මුන්ට දැනගන්න ලැබෙනවා. මෙයාලගේ වැඩ ගැන කියලා ඇනෝනි මැස්සන් නම් කුණු මැස්සන් විශේෂයක් විසින් ගම්මානේ පුරා කැලෑ පත්තර ගහන්න පටන් ගන්නවා. බඩුකාරයෝ කියන්නේ බඩුකාරයෝ බවත් පොලු කාරයෝ කියන්නේ පොලුකාරයෝ බවත් ගමේ මිනිස්සු ටිකෙන් ටික දැනගන්න පටන් ගන්නවා.

මේ කැලෑපත්තර වල එයාලා කාපු බීපු වෙලාවල් වල කතා උනු කාරණා අඩංගු වෙලා තියෙනවා. ඔන්න එතකොට තමයි මේ දෙගොල්ලන්ට දෙගොල්ලෝ ගැන සැක හිතෙන්න පටන් ගන්නේ. ඉතින් එයාලා විරසක වෙනවා. ඔය අතරේ ඇනෝනි මැස්සෝ තව තව විස්තර අඩංගු අලුත් කැලෑ පත්තර ගහන්න පටන් ගන්නවා. බඩුකාරයන්ගේ සහ පොලු කාරයගේ ක්‍රියාවන් ගැන විස්තර සපයනවා. බඩුකාරයන්ගේ සහ පොලු කාරයන් එයාලගේ බ්ලොග්ගස් වලට ඇනෝනි මැස්සන්ට වහන්න බැරිවෙන්න එයාලා දැල් ගහවා. එයාලා කියනවා ඇනෝනි මැස්සන් කියන්නේ බ්ලොග් ගස් මරා දමන මහා බයානක කෘමීන් විශේෂයක් බව.

කාලය මෙසේ ගෙවී යද්දී මේ බ්ලොග්ගස්තොට ගම්මානේ වාසය කරන අහිංසක මෝඩ හාවෙකුට රස්සාවක් හොයාගන්න හිතෙනවා. ඉතිං මේ අහිංසක මෝඩ හාවා පත්තරයක් වෙබ් අඩවියක් බලලා රස්සාවක් හොයනවා වෙනුවට මොකද කරන්නෙ ෆේස්බුක් නම් බඩකඩිත්තුවේ ඉස්ටේටස් පොජ්ජක් මන්දු කොරනවා “අනේ අයියා මට රස්සාවක් ඕනේ අයියා” කියල. මේක මුලින්ම ඇහැ ගැටෙන්නේ පොලු කාරයින්ට. මේක මේ අහිංසක මෝඩ හාවව යොදාගෙන “බලපල්ලා බ්ලොග්ගස්තොට ගම්මානේ මිනිස්සු තාමත් මාත් එක්ක ඉන්නවා” කියන්න පුලුවන් කදිම අවස්ථාවක් බව පොලු කාරයන්ට වැටහෙනවා. ඉතිං පොලු කාරයෝ මේ අහිංසක මෝඩ හාවව තමන් ළඟ සේවයට බදවා ගන්නවා.

තමන්ගේ දවසේ රාජකාරි නිමවා පැමිණෙන බඩු කාරයෝ මේ වෙලා තියෙන වින්නැහිය දැකලා කම්පාවෙනවා. තමන් මේ අහිංසක මෝඩ හාවාව තමන්ගේ පැත්තට නම්මා ගන්න කලින් තමන්ගේ හතුරා විසින් හාවව ඒ පැත්තට නම්මා ගැනීම ගැන. ඉතිං බඩුකාරයෝ මේ අහිංසක මෝඩ හාවව දැනුවත් කිරීම වෙනුවට ඌව ඔවුන්ගේ ෆේස්බුක් බඩකඩිත්තු පිටුවෙන් අහක්කරලා දානවා. එහෙම කරලා මහා පංපෝරි ගහන්න පටන් ගන්නවා. මේ පංපෝරි දකින පොලු කාරයන්ට පොඩ්ඩක් තරහා යනවා. ඉතින් එයාලා බඩුකාරයෝ ගැන බ්ලොග් ගහක් ඉන්දෝනවා.

මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු ඇනෝනි මැස්සෙක් හරි අපූරු කැලෑපත්තරයක් ගහනවා. ඒත් ඒ කැලෑ පත්තරය පොලුකාරයෝ විසින් ගලවා දමනවා. ඒ හරි අපූරු කැලෑ පත්තරේ තිබුණු විස්තරේ මෙහෙමයි….

බඩු කාරයෝ අහිංසක මෝඩ හාවව බුදු ෆිට් එකේ තියාගෙන ඉන්නේ ඌ කවදා හරි ලී මෝල් හිමියෙක් වෙන නිසා. දැන් පොලු කාරයෝ උගේ ප්ලෑනට කෙලියා.
බඩු කාරයෝ ආස්‍රය කරන්නේ සල්ලි කාරයින්වයි රට ඉන්න උන්වයි විතරනේ!
බඩු කාරයන්ගෙයි පොලු කාරයන්ගෙයි ඒ හැටි වෙනසක් නෑ. බඩු කාරයෝ කරන්නේ එක එක උන්ගෙන් තමන්ට දේවල් ලැබෙන තැනට ගේම ගෙනියන එක. පොලු කාරයෝ කරන්නෙ එක එක අයගෙන් දේවල් ආයේ දෙන්නං කියලා ඉල්ලගෙන වැඩේ වන කරගන්න එක.

එක අතකින් බලාගෙන යනකොට අසිපත අත ගත් අසරුවන්ට, සිරිලංකාව කියන රටේ ජාතික කොඩියේ ඉන්න සතාට පවා පොල්ල තිබ්බ පොලු කාරයිටයි, ලෙඩ බලන නෝනලයි නඩු අහන නෝනලයි කෙස්වලු පටලවන්න වැඩ සැලැස්සුව බඩු කාරයින්ටයි අහිංසක මෝඩ හාවෙක් කියන්නේ කජ්ජක්ද පින්වතුනි.

මේ බඩුකාරයින්ගේ සහ පොලුකාරයින්ගේ පොදු ගතිගුණ කීපයක් ඇනෝනි මැස්සෝ හොයාගෙන තිබ්බා. ඒ තමයි කෙනෙක් “හුංජි ජැපැං” වගේ නමකින් එනවනම් හෝ තමන් පිටරටක වාසය කරන බව අඟවා තියෙනවානම් ඒ අයට බඩුකාරයන් සහ පොලු කාරයන්ගෙන් විශේෂ සැලකිලි ලැබෙනවා. කොටින්ම එයාලගෙ මහා බ්ලොග්ගස් ව්‍යාපරය තුලින් ඒවගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න පවා එයාලා පෙලබෙනවා. සමහර වෙලාවට මෙහෙම කියන්න පුළුව්න් “අප්පේ මේ වණ්ඩුආප්පඅයියා අපේ මැරුණු බබාඅයියා වගේමයි අනේ. අනාගතේ හරී ජගතෙක් වෙන බව පේනවා”.

හැබැයි කෙනෙක් “ගල්නෑවෙ සිමියොං” වගේ නමකින් ආවොත් බඩුකාරයෝවත් පොලුකාරයෝවත් එයාලව පඩේකට මායිම් කරන එකක් නෑ.

ප:ලි : හිතවත් බ්ලොග්ගස්තොට ගම්වාසීනි ඔබත් බඩුකාරයෝ සහ පොලුකාරයෝ ප්‍රවේශමෙන් ආශ්‍රය කර ඔබේ වටිනා සල්ලි අයියෝ සල්ලි වීමෙන් වලකා ගන්න.