Tagged: ආචාර ධර්ම

ආචාරධර්ම, ප්‍රකාශන අයිතිය සහ තවත් සිංහල බ්ලොග් බයිලා

ලියුම්කරු මීට මාස කීපයකට කලින් නිර්නාමිකත්වය සහ ව්‍යාජනාමිකත්වය පිළිබඳ ලිපියක් ලියුවේය. එය අතලොස්සක් දෙනා කියවීය. කාරණා තේරුම්ගත් පිරිස ඉතා අල්ප විය හැකිය. ලියුම්කරුට ඒ ලිපිය ලියන්නට හේතු වූයේ එදා සිංහල බ්ලොග් අවකාශය තුල නිර්නාමිකයින් පිළිබඳව ඇතිවී තිබූ හාස්‍යජනක කතාවන්ය. එම සිද්ධිදාමයේ අවසන බොහෝ දෙනා නිර්නාමිකත්වය පිලිබඳ තරමක අවබෝධයක් ලබාගත් බව ලියුම්කරුගේ හැඟීමයි. නිර්නාමිකත්වයට අකමැතිව සිටි තවත් පිරිසක් එක සිද්ධිදාමය අවසන නිර්නාමිකයින් පිළිබද තමන්ගේ අකමැත්ත තවත් වැඩි කරගත් බවද ලියුම්කරුට පෙනිනි. කෙසේ හෝ අද වනවිට තවත් නව මාතෘකා කිහිපයක් පිලිබඳ සිංහලබ්ලොග් අවකාශය තුල කතිකාවන් ගොඩනැගී ඇත. තැන් තැන් වල බ්ලොග්වල අදහස් දැකීව්ම්, ලිපිවල ප්‍රකාශන හිමිකම හා බ්ලොග් අවකාශයේ පොරවල් නමැති මාතෘකා යටතේ හාස්‍යජනක කතා නිර්මාණය වී තිබේ. ලියුම්කරුගේ මේ උත්සාහය ඒ අදාල කාරණා විමසීමට ලක්කිරීමයි.

ලියුම්කරුගේ නෙත ගැටුනු පළමු ලිපිය වන්නේ සුදීක නමැත්තෙක් බ්ලොග් සඳහා අන්තර්ජාලය අස්සකින් සොයා ගත් ආචාරධර්ම පද්දතියක්(Code of conduct) හඳුන්වා දීමට යාමයි. එහිදී ඔහුගේ ලිපිය සම්බන්ධව වැටුනු බොහොම තාර්කික අදහස් විමසීමකට කල් කළොත් ඕනෑම අයෙකුට සුදීකගේ උත්සහයේ අසාර්ථක බව හොඳින්ම පෙනෙයි. එම ලිපියට වැටුනු අදහස් හිදී ලියුම්කරුට ලියන්නට විශේෂ යමක් ඉතිරි නොකරම සෑම අස්සක් මුල්ලක් පිලිබඳවම අදහස් දක්වන්නන් විසින් පෙන්වා දී තිබිණි. ලියුම්කරු මේ උත්සහ කරනුයේ ආචාරධර්ම පද්ධතියක්(Code of conduct) යනු කුමක්දැයි විමසා බලන්නටය.

ආචාරධර්ම පද්ධතියක් පවතින්නේ කිසියම් සංවිධානයක් හෝ පක්ෂයක් තුලයි. ආචාරධර්ම පද්දතිය අනූව කටයුතු කළ යුත්තේ අදාල සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකයින් විසින්ය. සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජියෙකු විසින් අදාල ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා ඔහුට හෝ ඇයට අදාල සංවිධානය හෝ පක්ෂය මගින් ලබා දෙන උපරිම දඩුවම සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම විය හැකියි. ආචාරධර්ම පද්දතියක් යනු සංවිධානයක හෝ පක්ෂයක ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉන් සේවාව ලබනා සියලුම පාර්ශවයන්ගේ සුභසිද්ධිය උදෙසා සෑදුනු, ප්‍රතිපත්තීන්, සම්මතයන්, ක්‍රියාපටිපාටි, විධික්‍රමයන් සහ සංවිධානයේ තීරණගතයුතු ආකාරය ආදිය පිලිබඳ සඳහන්  මාර්ගෝපදේශනයක් ලෙස අපිට සරලව හැඳින්විය හැකිය.

ඉහත හැඳින්වීම් බ්ලොග් අවකාශයට ඇතුලත් කළ හැකිද? බ්ලොග් අවකාශය යනු සංවිධානයක් හෝ පක්ෂයක් නොවේ. එනම් පොදු අරමුණක් වෙනුවෙන් පෙලගැසුනු මිනිසුන් සමූහයක එකතුවක් නොවේ. විවිධ බ්ලොග් කරුවන්ගේ අරමුණු විවිධය. සිංහල බ්ලොග් අවකාශය උපාසකයින්, උපාසක බලලුන්, තාපසයින්, බඩු කාරයින්, පොලු කාරයින්, මානසික ලෙඩ්ඩුන් ආදී විවිධ පුද්ගලයන්ගේ එකතුවකි. ඔවුන් විවිධ අරමූණු හේතුවෙන් බ්ලොග් ලිවීම නිසාම මේ විවිධත්වයක් ඇති බ්ලොග් අපට කියවන්නට ලැබෙයි. සුදීක නැමැත්තා ගෙනෙනා ආචාරධර්ම කඩ කරන්නනට කුමක් කළ හැකිද? ඒ අනූව බලන කල බ්ලොග් අවකාශයට ආචාරධර්ම පද්දතියක් කෙසේනම් ගෙන ආ හැකිද?

ලියුම්කරුගේ නෙත ගැටුනු දෙවන ලිපියනම් විචාරක නම් අයෙකුගේ ලිපියක ප්‍රකාශන හිමිකම පිලිබද හාස්‍යජනක කතාවකි.(පසුව ඔහු එම ලිපිය ඉවත්කොට ඇත) ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබූයේ ඔහුගේ මෙම ලිපියේ ඇති “නෝනට ඇත්ත කියනවා” නම් කතාව වෙන අයෙකු විසින් සොරකම් කොට(එම ලිපියද දැන් ඉවත්කොට ඇත) ඇති බවකි. ලියුම් කරු මේ පුවත දුටු සැනින්ම සිදුකලේ විචාරක නමැත්තාගේ ලිපියෙහි උපුටා ගත් තැන් ඇතිදැයි බැලීමයි. ඔහු එම ලිපියට භාවිතා කළ පින්තූර ගත් ස්ථානයන්ට සබැඳි ලබාදී තිබුණද ලිපිය කොතැනකින් හෝ උපුටා ගත් බවක් සඳහන් වී නොතිබිණි. එහෙත් එය ඔහුගේම නිර්මාණයක්දැයි ලියුම්කරුට සැකයක් ඇති විය. සරල ගූගල් සෙවුමකින් ලියුම්කරුට සොයාගත හැකි වූයේ විචාරක නමැත්තා ඔහුගේ යැයි කියන ලිපිය ඔහුගේ නිර්මාණයක් නොව අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් ලියවූවක් ඔහු විසින් පරිවර්තනය කිරීමක් බවයි. විචාරක නමැත්තා විසින් එම ලිපිය ඔහු උපුටා ගත් ස්ථානය සඳහන් කොට නැත. කොපි පුස්සෙකු විසින් කොපි පුස්සෙකුට කළ අභියෝග ලිපිය දැන් මකා දමා ඇතත් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස අන්තර්ජාලය තුලප්‍රකාශන හිමිකම  පිලිබදව තොරතුරු සොයා බැලීමට ලියුම්කරු පෙළඹිනි.

සිතන්න ඔබ විසින් “ඔබගේම කතාවක්” ඔබේ බ්ලොග් අඩවියේ පලකළා යැයි. එය පලකළ විගසම ප්‍රකාශන හිමිකම් නීති යටතේ(Copyright law) එම ලිපියේ අයිතිය ඔබ සතු වෙනවා. ඔබේ ලිපිය කිසිවෙකු විසින් නැවත පලකිරීම වරදක්ද? සැබැවින්ම එය වරදක් වන සහ නොවන අවස්ථා තිබේ. යහ භාවිතය(fair use) යටතේ කිසියම් පුද්ගලයෙකුට ලිපියක කොටස් උපුටාගැනීමේ අයිතිය තිබෙනවා. යහ භාවිතය යටතේ ලිපියක කොටස් යොදාගත හැකි අවස්ථා නම්…

  1. අධ්‍යාපන හෝ තාක්ෂණික කටයුත්තක් වෙනුවෙන් උපුටා දැක්වීමට
  2. අදහස් දැක්වීම් හෝ විවේචනය කිරීම් වෙනුවෙන්
  3. උපහාසයට ලක්කිරිම සඳහා
  4. පුවත්පත් වාර්තාවක් සඳහා ලිපියේ සාරාංශයක් උපුටා දැක්වීමට
  5. සහ තවත් බොහෝ අවස්ථා වලදී

සිංහල බ්ලොග් යනු බොහෝවිට ව්‍යාපාරික අරමුණුවලින් නොව හුදු විනෝදාංශයක් ලෙසට පවත්වාගෙන යන බ්ලොග් අඩවිවේ. එවැන්නකින් ලිපියක් ගෙන අදාල මුල් ලිපියට සබැඳියක් සහිතව තවත් ව්‍යාපාරික අරමුණකින් පවත්වාගෙන යනු නොලබන අඩවියක දැමීම කිසිසේත්ම වරදක් නොවේ. ඔබට සිතෙනවානම් ඔබේ බ්ලොග් ලිපියක් යමෙකු සොරකම් කර ඇතැයි ඔබ කළ යුත්තේ ඔබේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් ලියා අදාල තැනැත්තාට හෝ තැනැත්තියට විරුද්ධව යුධ ප්‍රකාශකිරීම නොවේ. හැකිනම් ඔහුගේ පුද්ගලික ඊමේල් ලිපියනක් වැන්නකින් ඔහුගෙන් හෝ ඇයගෙන් කරුණු විමසීමයි. ඔහුට හෝ ඇයට එම ලිපිය උපුටාගත් ඔබේ ලිපියට සබැඳියක් සටහන් කිරීමට පැවසීමයි. ඔබේ කීමට අදාල තැනැත්තා ඇහුම්කන් නොදේනම්, ඔබට අදාල ලිපිය අන්තර්ජාලයෙන් ඉවත් කළ යුතුමනම් සහ අදාල අන්තර්ගතය වෙනුවෙන් සටන් කිරීමට තරම් ඔබට හේතුවක් වේනම් ඔබට නීතිමය පිහිට පැතිය හැකියි. නමුත් අන්තර්ජාල ලියන්නෙකු ලෙස ඔබ අන්තර්ජායේ හැසිරීම තේරුම් ගතයුතුය. අන්තර්ජායල තුල ලියවෙන ලිපි පලකළ සැනින් තවකෙක් එක තවත් තැනක පලකිරීම අප දකින සුලභ සිද්ධියකි. විටෙක එක මුල් ලිපියට සබැඳියක් සහිතවද විටෙක සබැඳියක් රහිතවද සිදුවෙයි. යමක් උපුටාගන්නා විට එය උපුටාගන්න ස්ථානය සදහන් කිරීමට වගබලා ගැන්ම උපුටා ගන්නා තැනැත්තාගේ යුතුකමකි.අන්තර්ජාලයේ ලිපියක් පලකිරීමෙන් පසුව එහි කතෘ අයිතිය 100%ක් සුරැකේයැයි බලාපොරොත්තු විය නොහැක. එය කිසිසේත්ම යහපත් දෙයක් නොවන බව සැබෑවකි. නමුත් අද පවතින තත්වය, අන්තර්ජාලයේ හැසිරීම එය බව අප තේරුම්ගත යුතුව ඇත. තමන් අන්තර්ජාලයෙන් තමන්ගේ ලිපියට යොදාගන්නා පින්තූරයට පවා සබැදියක් ලබාදෙන කතන්දරකාරයා වැන්නවුන්ට ලියුම්කරුගේ ආචාරය හිමිවේ.

ලියුම්කරුගේ නෙත ගැටුනු තවත් ලිපි දෙකකි. එකක් නම් එක්තරා විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක්යැයි කියාගන්නා අයෙක්ට අන්තර්ජාලය තුල “සෑර්” යැයි අමතා නැති නිසා හිතේ දුකට ලියවුණු සටහනක්ය. අනෙක නම් බ්ලොග් නවකයෝයැයි පිරිසක් අඳුන්වා ඔවුන්ට බ්ලොග් ලියන හැටි කියාදීමට එක්තරා “බ්ලොග් මහාචාර්ය වරයෙකු” ගත් උත්සහයකි.

අන්තර්ජාලය තුල ඕනෑම අයෙකුට ආචාර්ය වරුන්, මහාචාර්ය වරුන් විය හැකිය. ඕනෑම අයෙක් විය හැකිය. මීට ඉහතදී කළ සටහන් වලදී මෙන්ම අදාල බ්ලොග් කරුවන් දෙදෙනාත් තේරුම් නොගත් කාරණය නම් මෙය අන්තර්ජාලය බවයි. අපි සමඟ සංවාද කරනා පණිවිඩ යවනා අපට නොපෙනෙන අනෙක්පස සිටින පුද්ගලයාව අපි මින් පෙර කිසිදු දිනෙක දැක නැතිනම්, මුණගැසී නැත්නම් අපිට ඔහු කවරෙක්දැයි අනුමාන කළ නොහැකිය. ඔබ ඔබේ අදාල ගිණුම්වල ඔබේ හැබෑ තොරතුරු ඇතුලත් කළාය කියා තවකෙක් ඔබට “සෑර්” ලෙස ඇමතිය යුතුයැයි ඔබ සිතන්නේ නම් එය විකාරයකි. අනෙක් කාරණයනම් ඔහුට මචං හෝ අයියා යන යෙදුම්වලින් ඇමතීම එතරම් ඔහුට අපහසුතාවයක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. ඔහු ඔහුගේ තත්වය ගැන අධිතක්සේරුවක සිට ලෝකය දෙස බැලීම එයට හේතුව නොවේද? තමන් උගත්යැයි පුනපුනා කියනා ඒ “මචං කාරයාට” නිහතමානී පුද්ගලයෙකු වන්න ලැබේවා යන්න ලියුම්කරුගේ පැතුමයි.

ඊළඟ කාරණයනම් බ්ලොග් අවකාශය තුල ජේෂ්ඨයෝ සහ ආධුනිකයෝ පිළිබඳ කතාවය. බ්ලොග් අවකාශය තුල සිටින්නේ ලියුම්කරුවන්ය. වෙන කිසිවෙකුත් මෙහි නැත. අලුතෙන් එන්නන්න අත දෙන්නට හුරතල් කරන්නට මෙය ළඳරු පාසලක් නොවේ. එක බ්ලොග් කරුවෙක් නිසා තව බ්ලොග් කරුවෙක් ගොඩ යන්නට නොහැකිය. බ්ලොග්කරුවන්ට තම බ්ලොග් අඩවිය තුල කළ හැක්කේ ලිවීමය. ගොඩයෑම යනුවෙන් අදහස් කරන්නේ හිට්ස් සහ ප්‍රතිචාර සංඛ්‍යාවනම් එය බොහෝවිට අන්තර්ගතයෙන් ස්වායක්තය. බොහෝවිට එය රදාපවතින්නේ හිත් ඇදගන්නා මාතෘකා සහ ලිපි ලිවීමේ සීඝ්‍රතාවය යන ප්‍රධාන කාරණා දෙක මත බව පෙන්වීමට මේ බ්ලොග් අවකාශය තුල කොතෙකුත් උදාහරණ ඇත. මීට අමතරව තමන් අදහස් දක්වන තැන්හී තමන්ගේ බ්ලොග් අඩවියේ සබැඳිය එල්ලා තැබීමෙන්ද හිට්ස් යන්න රැස්කරගත හැකිය. තවද දිනකට වැටෙන සියලු බ්ලොග් අඩවි වල සියලු ලිපි වලට වචන දෙකක හෝ ප්‍රතිචාරයක් දීම මගින්ද හිට්ස් වැඩිකරගත හැකිය. අදාල ලිපිය ලියූ තැනැත්තා බ්ලොග් අවකාශයේ හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන් ලියුම්කරුගේ ඉහත කාරණා සත්‍යබව ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිවනු ඇත. බ්ලොග් අවකාශය යනු ලියන්නන් සිටින තැනකි. බ්ලොග් අවකාශය තුල හිනිපෙත්තක් යනුවෙන් දෙයක් නැත. පොරවල් නැත. සිටින්නේ තමන් පොර යැයි සිතා සිටින අය හා අරූ පොරයැයි ඇඟිල්ල දික් කරන අය පමණකි.

මේ සියලුම දෙනාට අමතකව ගිය පොදු කාරණයනම් මේ සියලු සිදුවීම් සිදුවන්නේ අන්තර්ජාලයේ බවයි. අන්තර්ජාලය යනු ඔබට අවැසි අයුරින් පාලනය කළ හැක්කක් නොවේ. කොටින්ම එය ලොව කිසිඳු ආණ්ඩුවකට අවැසි ආකාරයටවත් සකස් කළ නොහැක්කකි.

Advertisements