ආචාරධර්ම, ප්‍රකාශන අයිතිය සහ තවත් සිංහල බ්ලොග් බයිලා

ලියුම්කරු මීට මාස කීපයකට කලින් නිර්නාමිකත්වය සහ ව්‍යාජනාමිකත්වය පිළිබඳ ලිපියක් ලියුවේය. එය අතලොස්සක් දෙනා කියවීය. කාරණා තේරුම්ගත් පිරිස ඉතා අල්ප විය හැකිය. ලියුම්කරුට ඒ ලිපිය ලියන්නට හේතු වූයේ එදා සිංහල බ්ලොග් අවකාශය තුල නිර්නාමිකයින් පිළිබඳව ඇතිවී තිබූ හාස්‍යජනක කතාවන්ය. එම සිද්ධිදාමයේ අවසන බොහෝ දෙනා නිර්නාමිකත්වය පිලිබඳ තරමක අවබෝධයක් ලබාගත් බව ලියුම්කරුගේ හැඟීමයි. නිර්නාමිකත්වයට අකමැතිව සිටි තවත් පිරිසක් එක සිද්ධිදාමය අවසන නිර්නාමිකයින් පිළිබද තමන්ගේ අකමැත්ත තවත් වැඩි කරගත් බවද ලියුම්කරුට පෙනිනි. කෙසේ හෝ අද වනවිට තවත් නව මාතෘකා කිහිපයක් පිලිබඳ සිංහලබ්ලොග් අවකාශය තුල කතිකාවන් ගොඩනැගී ඇත. තැන් තැන් වල බ්ලොග්වල අදහස් දැකීව්ම්, ලිපිවල ප්‍රකාශන හිමිකම හා බ්ලොග් අවකාශයේ පොරවල් නමැති මාතෘකා යටතේ හාස්‍යජනක කතා නිර්මාණය වී තිබේ. ලියුම්කරුගේ මේ උත්සාහය ඒ අදාල කාරණා විමසීමට ලක්කිරීමයි.

ලියුම්කරුගේ නෙත ගැටුනු පළමු ලිපිය වන්නේ සුදීක නමැත්තෙක් බ්ලොග් සඳහා අන්තර්ජාලය අස්සකින් සොයා ගත් ආචාරධර්ම පද්දතියක්(Code of conduct) හඳුන්වා දීමට යාමයි. එහිදී ඔහුගේ ලිපිය සම්බන්ධව වැටුනු බොහොම තාර්කික අදහස් විමසීමකට කල් කළොත් ඕනෑම අයෙකුට සුදීකගේ උත්සහයේ අසාර්ථක බව හොඳින්ම පෙනෙයි. එම ලිපියට වැටුනු අදහස් හිදී ලියුම්කරුට ලියන්නට විශේෂ යමක් ඉතිරි නොකරම සෑම අස්සක් මුල්ලක් පිලිබඳවම අදහස් දක්වන්නන් විසින් පෙන්වා දී තිබිණි. ලියුම්කරු මේ උත්සහ කරනුයේ ආචාරධර්ම පද්ධතියක්(Code of conduct) යනු කුමක්දැයි විමසා බලන්නටය.

ආචාරධර්ම පද්ධතියක් පවතින්නේ කිසියම් සංවිධානයක් හෝ පක්ෂයක් තුලයි. ආචාරධර්ම පද්දතිය අනූව කටයුතු කළ යුත්තේ අදාල සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකයින් විසින්ය. සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජියෙකු විසින් අදාල ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා ඔහුට හෝ ඇයට අදාල සංවිධානය හෝ පක්ෂය මගින් ලබා දෙන උපරිම දඩුවම සංවිධානයේ හෝ පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම විය හැකියි. ආචාරධර්ම පද්දතියක් යනු සංවිධානයක හෝ පක්ෂයක ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉන් සේවාව ලබනා සියලුම පාර්ශවයන්ගේ සුභසිද්ධිය උදෙසා සෑදුනු, ප්‍රතිපත්තීන්, සම්මතයන්, ක්‍රියාපටිපාටි, විධික්‍රමයන් සහ සංවිධානයේ තීරණගතයුතු ආකාරය ආදිය පිලිබඳ සඳහන්  මාර්ගෝපදේශනයක් ලෙස අපිට සරලව හැඳින්විය හැකිය.

ඉහත හැඳින්වීම් බ්ලොග් අවකාශයට ඇතුලත් කළ හැකිද? බ්ලොග් අවකාශය යනු සංවිධානයක් හෝ පක්ෂයක් නොවේ. එනම් පොදු අරමුණක් වෙනුවෙන් පෙලගැසුනු මිනිසුන් සමූහයක එකතුවක් නොවේ. විවිධ බ්ලොග් කරුවන්ගේ අරමුණු විවිධය. සිංහල බ්ලොග් අවකාශය උපාසකයින්, උපාසක බලලුන්, තාපසයින්, බඩු කාරයින්, පොලු කාරයින්, මානසික ලෙඩ්ඩුන් ආදී විවිධ පුද්ගලයන්ගේ එකතුවකි. ඔවුන් විවිධ අරමූණු හේතුවෙන් බ්ලොග් ලිවීම නිසාම මේ විවිධත්වයක් ඇති බ්ලොග් අපට කියවන්නට ලැබෙයි. සුදීක නැමැත්තා ගෙනෙනා ආචාරධර්ම කඩ කරන්නනට කුමක් කළ හැකිද? ඒ අනූව බලන කල බ්ලොග් අවකාශයට ආචාරධර්ම පද්දතියක් කෙසේනම් ගෙන ආ හැකිද?

ලියුම්කරුගේ නෙත ගැටුනු දෙවන ලිපියනම් විචාරක නම් අයෙකුගේ ලිපියක ප්‍රකාශන හිමිකම පිලිබද හාස්‍යජනක කතාවකි.(පසුව ඔහු එම ලිපිය ඉවත්කොට ඇත) ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබූයේ ඔහුගේ මෙම ලිපියේ ඇති “නෝනට ඇත්ත කියනවා” නම් කතාව වෙන අයෙකු විසින් සොරකම් කොට(එම ලිපියද දැන් ඉවත්කොට ඇත) ඇති බවකි. ලියුම් කරු මේ පුවත දුටු සැනින්ම සිදුකලේ විචාරක නමැත්තාගේ ලිපියෙහි උපුටා ගත් තැන් ඇතිදැයි බැලීමයි. ඔහු එම ලිපියට භාවිතා කළ පින්තූර ගත් ස්ථානයන්ට සබැඳි ලබාදී තිබුණද ලිපිය කොතැනකින් හෝ උපුටා ගත් බවක් සඳහන් වී නොතිබිණි. එහෙත් එය ඔහුගේම නිර්මාණයක්දැයි ලියුම්කරුට සැකයක් ඇති විය. සරල ගූගල් සෙවුමකින් ලියුම්කරුට සොයාගත හැකි වූයේ විචාරක නමැත්තා ඔහුගේ යැයි කියන ලිපිය ඔහුගේ නිර්මාණයක් නොව අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් ලියවූවක් ඔහු විසින් පරිවර්තනය කිරීමක් බවයි. විචාරක නමැත්තා විසින් එම ලිපිය ඔහු උපුටා ගත් ස්ථානය සඳහන් කොට නැත. කොපි පුස්සෙකු විසින් කොපි පුස්සෙකුට කළ අභියෝග ලිපිය දැන් මකා දමා ඇතත් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස අන්තර්ජාලය තුලප්‍රකාශන හිමිකම  පිලිබදව තොරතුරු සොයා බැලීමට ලියුම්කරු පෙළඹිනි.

සිතන්න ඔබ විසින් “ඔබගේම කතාවක්” ඔබේ බ්ලොග් අඩවියේ පලකළා යැයි. එය පලකළ විගසම ප්‍රකාශන හිමිකම් නීති යටතේ(Copyright law) එම ලිපියේ අයිතිය ඔබ සතු වෙනවා. ඔබේ ලිපිය කිසිවෙකු විසින් නැවත පලකිරීම වරදක්ද? සැබැවින්ම එය වරදක් වන සහ නොවන අවස්ථා තිබේ. යහ භාවිතය(fair use) යටතේ කිසියම් පුද්ගලයෙකුට ලිපියක කොටස් උපුටාගැනීමේ අයිතිය තිබෙනවා. යහ භාවිතය යටතේ ලිපියක කොටස් යොදාගත හැකි අවස්ථා නම්…

  1. අධ්‍යාපන හෝ තාක්ෂණික කටයුත්තක් වෙනුවෙන් උපුටා දැක්වීමට
  2. අදහස් දැක්වීම් හෝ විවේචනය කිරීම් වෙනුවෙන්
  3. උපහාසයට ලක්කිරිම සඳහා
  4. පුවත්පත් වාර්තාවක් සඳහා ලිපියේ සාරාංශයක් උපුටා දැක්වීමට
  5. සහ තවත් බොහෝ අවස්ථා වලදී

සිංහල බ්ලොග් යනු බොහෝවිට ව්‍යාපාරික අරමුණුවලින් නොව හුදු විනෝදාංශයක් ලෙසට පවත්වාගෙන යන බ්ලොග් අඩවිවේ. එවැන්නකින් ලිපියක් ගෙන අදාල මුල් ලිපියට සබැඳියක් සහිතව තවත් ව්‍යාපාරික අරමුණකින් පවත්වාගෙන යනු නොලබන අඩවියක දැමීම කිසිසේත්ම වරදක් නොවේ. ඔබට සිතෙනවානම් ඔබේ බ්ලොග් ලිපියක් යමෙකු සොරකම් කර ඇතැයි ඔබ කළ යුත්තේ ඔබේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් ලියා අදාල තැනැත්තාට හෝ තැනැත්තියට විරුද්ධව යුධ ප්‍රකාශකිරීම නොවේ. හැකිනම් ඔහුගේ පුද්ගලික ඊමේල් ලිපියනක් වැන්නකින් ඔහුගෙන් හෝ ඇයගෙන් කරුණු විමසීමයි. ඔහුට හෝ ඇයට එම ලිපිය උපුටාගත් ඔබේ ලිපියට සබැඳියක් සටහන් කිරීමට පැවසීමයි. ඔබේ කීමට අදාල තැනැත්තා ඇහුම්කන් නොදේනම්, ඔබට අදාල ලිපිය අන්තර්ජාලයෙන් ඉවත් කළ යුතුමනම් සහ අදාල අන්තර්ගතය වෙනුවෙන් සටන් කිරීමට තරම් ඔබට හේතුවක් වේනම් ඔබට නීතිමය පිහිට පැතිය හැකියි. නමුත් අන්තර්ජාල ලියන්නෙකු ලෙස ඔබ අන්තර්ජායේ හැසිරීම තේරුම් ගතයුතුය. අන්තර්ජායල තුල ලියවෙන ලිපි පලකළ සැනින් තවකෙක් එක තවත් තැනක පලකිරීම අප දකින සුලභ සිද්ධියකි. විටෙක එක මුල් ලිපියට සබැඳියක් සහිතවද විටෙක සබැඳියක් රහිතවද සිදුවෙයි. යමක් උපුටාගන්නා විට එය උපුටාගන්න ස්ථානය සදහන් කිරීමට වගබලා ගැන්ම උපුටා ගන්නා තැනැත්තාගේ යුතුකමකි.අන්තර්ජාලයේ ලිපියක් පලකිරීමෙන් පසුව එහි කතෘ අයිතිය 100%ක් සුරැකේයැයි බලාපොරොත්තු විය නොහැක. එය කිසිසේත්ම යහපත් දෙයක් නොවන බව සැබෑවකි. නමුත් අද පවතින තත්වය, අන්තර්ජාලයේ හැසිරීම එය බව අප තේරුම්ගත යුතුව ඇත. තමන් අන්තර්ජාලයෙන් තමන්ගේ ලිපියට යොදාගන්නා පින්තූරයට පවා සබැදියක් ලබාදෙන කතන්දරකාරයා වැන්නවුන්ට ලියුම්කරුගේ ආචාරය හිමිවේ.

ලියුම්කරුගේ නෙත ගැටුනු තවත් ලිපි දෙකකි. එකක් නම් එක්තරා විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක්යැයි කියාගන්නා අයෙක්ට අන්තර්ජාලය තුල “සෑර්” යැයි අමතා නැති නිසා හිතේ දුකට ලියවුණු සටහනක්ය. අනෙක නම් බ්ලොග් නවකයෝයැයි පිරිසක් අඳුන්වා ඔවුන්ට බ්ලොග් ලියන හැටි කියාදීමට එක්තරා “බ්ලොග් මහාචාර්ය වරයෙකු” ගත් උත්සහයකි.

අන්තර්ජාලය තුල ඕනෑම අයෙකුට ආචාර්ය වරුන්, මහාචාර්ය වරුන් විය හැකිය. ඕනෑම අයෙක් විය හැකිය. මීට ඉහතදී කළ සටහන් වලදී මෙන්ම අදාල බ්ලොග් කරුවන් දෙදෙනාත් තේරුම් නොගත් කාරණය නම් මෙය අන්තර්ජාලය බවයි. අපි සමඟ සංවාද කරනා පණිවිඩ යවනා අපට නොපෙනෙන අනෙක්පස සිටින පුද්ගලයාව අපි මින් පෙර කිසිදු දිනෙක දැක නැතිනම්, මුණගැසී නැත්නම් අපිට ඔහු කවරෙක්දැයි අනුමාන කළ නොහැකිය. ඔබ ඔබේ අදාල ගිණුම්වල ඔබේ හැබෑ තොරතුරු ඇතුලත් කළාය කියා තවකෙක් ඔබට “සෑර්” ලෙස ඇමතිය යුතුයැයි ඔබ සිතන්නේ නම් එය විකාරයකි. අනෙක් කාරණයනම් ඔහුට මචං හෝ අයියා යන යෙදුම්වලින් ඇමතීම එතරම් ඔහුට අපහසුතාවයක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. ඔහු ඔහුගේ තත්වය ගැන අධිතක්සේරුවක සිට ලෝකය දෙස බැලීම එයට හේතුව නොවේද? තමන් උගත්යැයි පුනපුනා කියනා ඒ “මචං කාරයාට” නිහතමානී පුද්ගලයෙකු වන්න ලැබේවා යන්න ලියුම්කරුගේ පැතුමයි.

ඊළඟ කාරණයනම් බ්ලොග් අවකාශය තුල ජේෂ්ඨයෝ සහ ආධුනිකයෝ පිළිබඳ කතාවය. බ්ලොග් අවකාශය තුල සිටින්නේ ලියුම්කරුවන්ය. වෙන කිසිවෙකුත් මෙහි නැත. අලුතෙන් එන්නන්න අත දෙන්නට හුරතල් කරන්නට මෙය ළඳරු පාසලක් නොවේ. එක බ්ලොග් කරුවෙක් නිසා තව බ්ලොග් කරුවෙක් ගොඩ යන්නට නොහැකිය. බ්ලොග්කරුවන්ට තම බ්ලොග් අඩවිය තුල කළ හැක්කේ ලිවීමය. ගොඩයෑම යනුවෙන් අදහස් කරන්නේ හිට්ස් සහ ප්‍රතිචාර සංඛ්‍යාවනම් එය බොහෝවිට අන්තර්ගතයෙන් ස්වායක්තය. බොහෝවිට එය රදාපවතින්නේ හිත් ඇදගන්නා මාතෘකා සහ ලිපි ලිවීමේ සීඝ්‍රතාවය යන ප්‍රධාන කාරණා දෙක මත බව පෙන්වීමට මේ බ්ලොග් අවකාශය තුල කොතෙකුත් උදාහරණ ඇත. මීට අමතරව තමන් අදහස් දක්වන තැන්හී තමන්ගේ බ්ලොග් අඩවියේ සබැඳිය එල්ලා තැබීමෙන්ද හිට්ස් යන්න රැස්කරගත හැකිය. තවද දිනකට වැටෙන සියලු බ්ලොග් අඩවි වල සියලු ලිපි වලට වචන දෙකක හෝ ප්‍රතිචාරයක් දීම මගින්ද හිට්ස් වැඩිකරගත හැකිය. අදාල ලිපිය ලියූ තැනැත්තා බ්ලොග් අවකාශයේ හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන් ලියුම්කරුගේ ඉහත කාරණා සත්‍යබව ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිවනු ඇත. බ්ලොග් අවකාශය යනු ලියන්නන් සිටින තැනකි. බ්ලොග් අවකාශය තුල හිනිපෙත්තක් යනුවෙන් දෙයක් නැත. පොරවල් නැත. සිටින්නේ තමන් පොර යැයි සිතා සිටින අය හා අරූ පොරයැයි ඇඟිල්ල දික් කරන අය පමණකි.

මේ සියලුම දෙනාට අමතකව ගිය පොදු කාරණයනම් මේ සියලු සිදුවීම් සිදුවන්නේ අන්තර්ජාලයේ බවයි. අන්තර්ජාලය යනු ඔබට අවැසි අයුරින් පාලනය කළ හැක්කක් නොවේ. කොටින්ම එය ලොව කිසිඳු ආණ්ඩුවකට අවැසි ආකාරයටවත් සකස් කළ නොහැක්කකි.

Advertisements

19 comments

  1. wicharaka විචාරක

    යුෂ්මතාගේ දැනගැනීම පිණිස ලියමි. යුෂ්මතාට ද බ්ලොග් අවකාශය තුළ විශ්චයකරුවකු වීමට අයිතියක් නැත. යුෂ්මතා ද, යුෂ්මතාගේ වචන වලින් කියන්නේ නම්, බ්ලොග් ලියන, තවත් එක බඩු කාරයකු, පොලු කාරයකු, මානසික ලෙඩෙකු, පමණි. මා මගේ ප්‍රස්තුත කතාවෙහි අදහස් දැක්වීම් වල පවා සඳහන් කොට තිබුණා, මෙම ‘නෝනට ඇත්ත කියනවා’ නමැති කතාව කලකට ඉහතදී 2000- 2001 පමණ කාලයේදී මා ඇමරිකානු හමුදා උපදේශකයන් යටතේ පුහුණුව ලබද්දී ඔවුන්ගෙන් ඇසු කතාවක් බව. යුෂ්මතා වැනි මන්ද බුද්ධිකයකු, ඒ කොටස අතහැර මෙසේ අවලාද නැගීම, සීතල වතුර පහරක් හදිසියේ ගත පුරා වැදුණු උන්මත්තකයකුගේ කෑ ගැසීමක් විනා, අන් කවරක්වත් නොවේ. යුෂ්මතා කියන පරිදි අදාළ කතාව අන්තර්ජාලයට එක්වී ඇත්තේ 2000 – 2001 කාලයට පෙර යයි ඔප්පු කිරීමෙන් පමණයි, මගේ තර්කය බිඳෙන්නේ. නොඑසේනම් යුෂ්මතාද පුස්සෙකි. මන්ද යුෂ්මතා කියන අන්තර්ජාල ලිපියද මා ලියන ලද කතාවද අතර පරස්පරයන් ඇති බැවිනි.

    මා ඒ කතාව ඇතුලත් ලිපිය ඉවත්කලේ අන්තිම පේළිය නමැති අඩවියේ අඩවි පාලකයාද, අදාළ කොපි ලිපිය ලියු තැනැත්තාද, මගේ අඩවිය වෙත පැමිණ, අදාළ සිදුවීම පිළිබඳව තුළ කණගාටුව ප්‍රකාශකර සමාව අයැදීම නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. අවශ්‍යනම් අදාළ අඩවියෙන් විමසා බැලීම යෙහෙකි. “බ්ලොග් අවකාශය යනු ලියන්නන් සිටින තැනකි. බ්ලොග් අවකාශය තුල හිනිපෙත්තක් යනුවෙන් දෙයක් නැත. පොරවල් නැත. සිටින්නේ තමන් පොර යැයි සිතා සිටින අය හා අරූ පොරයැයි ඇඟිල්ල දික් කරන අය පමණකි” යුෂ්මතාගේ ඉහත සඳහන් වචන කන්නාඩියක් ඉදිරිපිටටගොස් තමන්ටම කියාගත්තයයි සිතිය යුතුය..

  2. wicharaka විචාරක

    ඔව් මා අවංකවම පිළිගන්නවා මට වැරදී ඇති බව. හැබැයි මම දිවුරා ප්‍රකාශ කරනවා, මා මෙය අන්තර්ජාලයෙන් ලබා නොගත් බවත්, ඇත්ත වශයෙන්ම මගේ මතකයෙන් ( කලින් අසා තිබුණු ආකාරයට) ලියන ලද බවත්. බොහොම ස්තුතියි මේ වරද පෙන්වා දුන්නාට.

  3. dawkinssdodo

    හොඳයි මේ වගේ එකක් ලියපු එක.
    ඔය ආචාර් ධර්ම යෝජනා කරපු කෙනා අන්තිමට මාර විකට උත්තර දුන්නෙ.

  4. R.p. Susantha

    මේ ලිපිය පිළිබඳ මගේ පහන් සංවේගය පිළිගන්න. ඉතාම කාලෝචිත අදහසක්. බ්ලොග් යනු අනාගත නිදහස් මාධ්‍යයයි. එයට සීමා බාධක නොමැත, කිසියම් වූ නිදහස් ප්‍රකාශනයකට සීමා ඇති කිරීම මම නම් අනුමත නොකරමි.

  5. Anonymous

    මචන් එක එකා බ්ලොග් ලියන්නෙ තමන්ගෙ බුද්ධි මට්ටම අනුව…. තමන්ගෙ ජීවන රටාව හා අත් දැකීම් අනුව…. සුදීක අනිත් මිනිස්සුන්ගෙ වැරදි අඩුපාඩු හොයන ගමන් නයි ඇර ඇර පොර වෙන්න හදන කෙනෙක්….. විචාරක දන්නෙ ගිරිය පුප්පන් කෑ ගහලා වටේට වෙඩි තියලා ෆ්ලැට් කරලා දාන්න…. ඉතින් ඒ අයගෙ ලිපිත් එහෙමයි…

    කොහොම උනත් මෙම ලිපියත් තවත් සිංහල බ්ලොග් බයිලාවක් දෝ කියා නොසිතෙන මට්ටමට ඉතා ස්වාධීන මට්ටමින් ලියූ ලිපියක්….

    දිගටම ලියුවානම් අපිට බලන්න වැදගත් දෙයක් තියෙයි… කුණු හරුප, යාං හෑලි, බයිලා, සහ නොතේරෙන පරිවර්ථන කියවලා ඇතිවෙලා….

  6. Anonymous

    තමුසේ කවදා ඉඳලද කකා කියන පුකා ගේ බෙට්ට උරන්නේ

  7. පිටස්තරයා

    ඔය ආචාර ධර්ම ගැන කතා කරල තිබ්බ ලිපිය මම උඩ ඉඳන් අන්තිම කමෙන්ට් එකට වෙනකං කියෙව්වා. ඔෆිස් මැෂින් වල සිංහල දාගන්න එක එක එක කාලෙට වෙනස් වෙන නිසා transliteration ටයිප් කරනවට වැඩිය ඉංග්‍රිසියෙන් කමෙන්ට් එකක් දැම්මා. අදහසට කෙසේ වෙතත් ලියනවනං සිංහලෙන් ලියන්න කියල reply එකක් දාලා කියල මම මේ දැන් දැක්කෙ.

    කැතී සියෙරා කියන්නෙ හොඳ software engineering ලේඛිකාවක් වෙන්න පුලුවන්. එහෙම වෙච්ච පලියට එයා කියන හැම දෙයක්ම, විශේෂයෙන් සාමාජයීය, දේශපාලනික සන්දර්භයකට අයිති දේවල් ඇත්ත වෙන්නෙ නෑ. තමන් observe කරන එක වෙනම දෙයක්. හැබැයි ඒක අනිත් අය විහිලුවට විවේචනයට ලක් කරද්දි බොරුවට දඟලල වැඩක් නැහැ.

  8. amila chathuranga

    මා මේ දිනවල සාමාන්‍යයෙන් දේශපාලන මතිමතාන්තර තිබෙන පුවත් පත් ලිපි වලින් කියවන්න ආස කරන්නෙ වික්ටර් අයිවන් ගේ ලිපි.
    මොකද කොයි තරම් සාක්කුවෙ හිටියත් වික්ටර් දන්නවා තමුං කියන්නෙ පොඩි මිනිහෙක් බව.
    රේල් ගේට්ටු වලිං මැරෙන මිනිස්සු ගැන. අධ්‍යාපන ක්‍රමයෙන් හැලෙන මිනිස්සු, වකුගඩු පණනැති වෙච්චි මිනිස්සු ගැන වික්ටර් අයිවන් පසුගිය සතියක රාවය පත්තරේ කතා කරලා තිබුනා.

    තත්‍යාකාරයෙන් ඉතාම බොලඳ වූ සිංහල සයිබරය තුල මා ගරුකරන චරිත විටින් විට වෙනස් වන මුත් සිව් මංසල කොළුගැටයා යන චරිතය මාගේ සිත් ඇදගත් එකකි. ඔහු ඔහුගේ දැනුම නිතර යාවත් කාලීන කරගනිමින් නව මානයන්ට ඉඩකඩ සලසන ආකාරයක් පෙන්නුම ්කරනවා.. ඒක බොහොම විවෘත අත්දැකීමක් වෙනවා..

    මේ ලිපිය දකින විට කියන්නට බොහෝ දෝ මතක් වෙනවා. නමුත් සමහර දේවල් ඉතාම දීර්ඝයි.. එතරම් දීර්ඝ කාරනා ඉදිරිපත් කලත් කියවන්නෙ එක්කෙනෙක් දෙන්නකු පමණයි.. අවසානයේ අපි ඉතාම කුඩායි කියන කාරණය පමණක් ගෙනැහැර දක්වන්න මම කැමතියි..

    ඒ වගේම හැමදාම ලෝකයේ උදාහරණ මෙහෙමයි.. ලෝකෙ ඇනෝ මෙහෙමයි…ඇමරිකාවෙ ඇනෝ කියන්නෙ මේකට.. කියලා ගොන් පාට් එකක් ඇක්ට් කරන්න යනවා හැමෝම.. ඇයි ඔය ලෝක ඇනෝ සහ සිංහල බ්ලොග් ඇනෝ වෙනස් වෙන්න බැරි.. හැම වචනයක්ම සියයට සියයක් පරිවර්ථනය කරන්න බැහැ.. මොකද සංස්කෘතික වටපිටාව අනුව වචනවල තේරුම වෙනස් වෙනවා..

  9. Naleen Dilruksha

    හොඳ විමර්ශනාත්මක ලිපියක්..
    මෙහි මගේ බ්ලොගය ගැනද සඳහනක් ඇති නිසා මේ පැහැදිලි කිරීම කරමි. වරදක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කරගන්නට මට හැකිය. මට මගේ ලිපියෙන් පෙන්වා දෙන්න අවශ්‍ය වූයේ ඉතා වටිනා බ්ලොග් අලුතෙන් ආරම්භ වුවත් ඒවාට පාඨකයන් නොමැති කමින් ලියන අය අධෛර්යට පත්ව ඒවා ලිවිම අතැර යන තත්ත්වයන් තුළ ඊට ප්‍රචාරයක් ලබා දීමයි.

    මත වාරණයක් කිසිසේත්ම මගේ බ්ලොගයේ සිදු නොවේ.. එකම ඉල්ලීම කුණුහරප කමෙන්ට් දමන්න එපා යන්න පමණි. මා ඒ ඉල්ලීම වුව කරන්නේ මගේ දරුවන් මෙන්ම ඔවුන්ගේ සමකාලීනයන් කීප දෙනකුද බ්ලොගය කියවන බැවිණි.
    එය ළදරු මානසිකත්වයෙන් කරන ලද ඉල්ලීමක් නොවේ. මානුෂියව කරන ලද ඉල්ලිමකි.

  10. සංවේදී

    ඔබතුමා මගේ ලිපිය බාගෙට කියවල තියෙන්නේ. මම කියල තියෙන්නෙ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී ශිෂ්‍යයෙක් තම ගුරුවරයාට අයියා කියූ බව මිස බ්ලොග් ලෝකයේදී මට එසේ අමතන්නට එපා කියා නොවේ. බ්ලොග් ලෝකයේදී මා අවංකවම බලාපොරොත්තු වන ආමන්ත්‍රණය මචං යන අපූරු ආමන්ත්‍රණය පමණකි. ඒ ලිපිය ලීමට පෙර පවා සිට මා ලෝකයේ සියලු වයස්වල අයට මචං කියා කමෙන්ට් කර තිබෙනු ඔබතුමා දැක නොතිබීම කණගාටුවකි. දුකා, මාතලන් මේ ගැන දනී. ඔබතුමාගේ ලිපිය කියවා ඔබතුමා හදපු මානසිකත්වයෙන් එහි ආ අය මගේ අනිත් නිර්මාණද රස විඳීම පසෙක තබා මට බනින්නට පටන් ගෙන තිබෙනවා.
    වැරදි පෙන්වා දීම හොඳ දෙයක්. අනිවාර්යයෙන්ම මගේ වැරදි තිබෙනවා. මම පිළිගන්නවා. නමුත් ඔබතුමා මාව හදාගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ම එසේ කළා නම් මෙහි ලින්ක් එක මට ඊ-මේල් කරන්නට තිබුණා. මා ඔබට බනිනවා නොවෙයි. සමහරවිට ඔබ උපකල්පනය කරන්නට ඇති මා ඔබේ ලිපිය කොහෙන් හරි හොයාගෙන කියවයි කියා. නමුත් මා ඉන් අදහස් කළේ මගේ විද්‍යුත් ලිපිනයට එය එව්වා නම් වඩාත් හොඳයි කියාය.

    • WK

      ” එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු මා පෞද්ගලිකව හඳුනන්නන් නොවෙති. මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි….! (මා සාමාන්‍යපෙළ සමත් වී දැනට වසර 14ක් පමණ වේ.) “

      • සංවේදී

        You have purposely missed //තවමත් ශිෂ්‍යයෙකු වූ// and
        //ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.//

        • සංවේදී

          මහත්මයා ප්‍රථම උපාධිය නිම කරන තෙක්ම ඔහු ශිෂ්‍යයෙක්. සාමාන්‍යපෙළ මෑතකදී සමත් කියන්නෙ අනිවාර්යයෙන්ම තවමත් ශිෂ්‍යයෙක්.

  11. සංවේදී

    //අන්තර්ජාලය තුල “සෑර්” යැයි අමතා නැති නිසා හිතේ දුකට ලියවුණු//
    මේකට නම් කොහෙත්ම එකඟ වෙන්නෙ නෑ. මා මේ කියා තිබෙන්නේ එහෙම එකක් නොවේ. ශිෂ්‍යයෙක් තමන්ගෙ ගුරුවරයාට (ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, පාසල් ගුරුවරයෙක් හෝ පුද්ගලික පන්ති ගුරුවරයෙක් වන්නට හැකියි.) ශ්‍රී ලාංකීය සන්දර්භයේදී හරි නෑ. (ඒකත් සාපෙක්ෂයි. මා ඇමරිකාවේ උගන්නවානම් එහෙම බලාපොරොත්තු වෙන එක අනිවාර්යයෙන්ම වැරදියි.) අපිට අපේ සංස්කෘතියෙ තියෙන දේවල් වලට එහෙම පිටින්ම පයින් ගහලා විසිකරලා ප්‍රායෝගිකව සමාජයේ ජීවත් වෙන්න අමාරුයිනේ.එයින් අදහස් වෙන්නෙ නෑ මම ඔය අපේය කියන සංස්කෘතියෙ තියෙන හැම විකාරයක්ම ඉස් මුදුනින් පිළිග්ගන්නවා කියන එක. නම් එක්තරා සීමාවකට ඒ හර පද්ධතියට ගරු කළ යුතුයි කියා මා සිතනවා. මම පිළිගන්නවා මම ටිකක් ගතානුගතිකව හිතන කෙනෙක් කියන එක.
    තව එකක්. මම කාලයක් පුද්ගලික අංශයේ වැඩ කළා. එහි ඉහළම තාක්ෂණික නිලය දැරුවත් මා පෞද්ගලිකවම මත සර් කියන්නට එපා යයි එහි පහළ ශ්‍රේණියේ යයි හංවඩු ගසන ලද (මට අනුව වැටුපට වැඩ කරන අය අතර එහෙම එකක් තියෙන්න බෑ.) අයගෙන් ඉල්ලා තිබෙනවා. මොකද එතනදි කවුරුත් කරන්නෙ රැකියාවක්. නිකං පුටු රත්කරල කවුරුවත් වැටුප් ගන්නෙ නෑ. ඒ නිසා කවුරුවත් ලොකු නෑ.
    සයිබර් අවකාශයෙක් එහෙමයි. ඒ බව මගේ කමෙන්ටු හරියට කියෙව්වා නම් ඔබතුමා මේ සටහන තියන්නෙ කළින් දෙපාරක් හිතන්න ඉඩ තිබුණා. නමුත් ලියපු එක ඇත්තටම හොඳයි. මේ හරහා බ්ලොග් ලෝකයේ ප්‍රවීණයො ගොඩක් මම අඳුන ගත්තා. ස්තුතියි.

    • Anonymous

      එහි ඉහළම තාක්ෂණික නිලය දැරුවත් – පතිරන මහත්තයො.. තරහ නැතුව ඔබතුමාගෙ නිලය කියනවද? ඔබ තුමා මෘදුකාංග සම්බන්ධව නිසා, ටෙක් ලීඩ් ද, ආකිටෙක්ට් ද, සීනියර් ආකිටෙක්ට්ද කවුද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s