නිර්-නාමිකත්වය, ව්‍යාජ-නාමිකත්වය සහ සිංහල බ්ලොග් අවකාශය |Anonymity, Pseudonymity and Sinhala blogosphere

අද සිංහල බ්ලොග් අවකාශයේ බොහෝදෙනාට ‘Anonymous’ යන නාමය ඇසූ පමණින් ඇඟේ මයිල් කෙලින් වී යයි. ගිරිය පුප්පා කෑ ගසන්නට පටන් ගනියි. කියවීම මද සිංහල බ්ලොග් කාරයා ‘Pseudonymous’ යන වදන කිසිම දිනෙක අසාවත් නැත. එමෙන්ම anonymousලාගේ පලු අරින බහුතර සිංහල බ්ලොග් කාරයින් තමා ද අයත් වන්නේ pseudonymous කාණ්ඩයට බව දන්නේද නැත. මෙතැන් සිට මෙම ලිපියේ ‘Anonymous’ යන්න ‘නිර්-නාමික ලෙසද ‘Pseudonymous’යන්න ව්‍යාජ-නාමික ලෙසද යොදාගනු ඇත. නැතහොත් කියවීම මද සිංහල බ්ලොග් කාරයාට එය තේරුම් ගැනීමට අපහසු වනු ඇත. පෙර සඳහන් කළ පරිදි සිංහල බ්ලොග් අවකාශයේ බහුතරය ව්‍යාජ-නාමිකයින්ය. බොහෝවිට ඔවුන් නිර්-නාමිකයින්ගෙන් වෙනස් වන්නේ ඔවුන්ට ව්‍යාජ නාමයක් ඇති කමින් පමණකි. යමෙකුට ව්‍යාජ-නාමයක් ඇති පමණකින් ඔහු හෝ ඇය ‘ඇනෝනිමසයෙන් නොවේ’ යැයි හදුනා ගන්නා කියවීම මද සිංහල බ්ලොග් කාරයින් ඔහු හෝ ඇය පිළිබඳව පහන් සිතක් ඇති කරගනියි. එය ලියුම්කරුගේ සිත තුල බහුතර සිංහල බ්ලොග් කාරයින් පිළිබඳ පහන් සංවේගය උපදවන්නකි. ලියුම්කරු මෙවන් ලිපියක් ලිවීමට හේතුව, යමක් කියවා තේරුම් ගැනීමට හැකියාවැති අතලොස්සක් වූ සිංහල බ්ලොග් කාරයින් මේ ලිපිය කියවා ඔවුන් නිර්නාමිකත්වය පිළිබඳව දරණ ආකල්පය වෙනස් කරගනු ඇතයි ලියුම්කරු තුල ඇති මිත්‍යා විශ්වාසයයි.

බ්ලොග් අඩවි වල නිර්-නාමික අදහස් සැපයීමට අවසර ලබා දී ඇත්තේ මන්දැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? යුරෝපයේ බොහොමයක් රටවල අදහස් ප්‍රකාශකිරීමේ නිදහස යටතේ අන්තර්ජාලය තුල නිර්-නාමික වීමට නීතිමය අවසර තිබේ. අවාසනාවකට ලංකාව තුල තවමත් අන්තර්ජාල කටයුතු සම්බන්ධ විධිමත් නීති පද්ධතියක් නැත. නිර්-නාමිකයින්ගෙන් ඔබ නිර්-නාමික වන්නේ මන්ද යැයි විමසීම ව්‍යාජ-නාම බාවිතා කරන්නන්ගෙන් ඔබ උප්පැන්නේ නම බාවිතා නොකරන්නේ මන්ද යැයි විමසීමක් වැනිය. යමෙක් නිර්-නාමික වීමට හෝ ව්‍යාජ-නාමයක් බාවිතා කිරීම්ට හේතු ගණනාවක් තිබිය හැකිය. ප්‍රසිද්ධ ආයතයනක කටයුතු කරන අයෙකුට තම ආයතනයේ සිදුවන අකටයුතුකමක් පිළිබඳ ලිපියක් ලිවීමට නිර්-නාමික හෝ ව්‍යාජ-නාමයක් භාවිතා කිරීමට සිදුවීමට හැකිය. නැත්නම් තම මිතුරෙක් ලියූ ලිපියක් විවේචනය කිරීමට කෙනෙක්ට නිර්-නාමික හෝ ව්‍යාජ-නාමිකයෙකු විය හැකිය. විවිධ පුද්ගලයන්ගේ මනෝභාවයන් විව්ධ බැවින් යම් කිසි ක්‍රියාවකට ඔවුන් දක්වන ප්‍රතිචාරය කෙබඳු දැයි අනුමාන කළ නොහැකිය. එවන් අවස්ථාවක යමක් විවේචනය කිරීමට හෝ උපහාසයට ලක් කිරීමට නිර්-නාමික වීම තුල හෝ ව්‍යාජ-නාමිකයෙකු වීම තුල ලියුම්කරු වරදක් දකින්නේ නැත. සිංහල බ්ලොග් ඉතිහාසයේ සිටි විශිෂ්ඨතම ව්‍යාජ-නාමිකයා ලෙස ලියුම්කරු හඳූන්වන්නේ ටැබූව ය.

මීළඟට අපි සලකා බලමු නිර්-නාමිකත්වයේ හා ව්‍යාජ-නාමිකත්වයේ ඉතිහාසය පිළිබඳව. බහුතර සිංහල බ්ලොග් කරුවන් හැසිරන ආකාරය දුටු විට ලියුම්කරුට හැඟෙන්නේ ඔවුන් නිර්-නාමිකයින් සහ ව්‍යාජ-නාමිකයින් දැක ඇත්තේ අන්තර්ජාලයෙන් බවයි. නමුත් නිර්නාමිකත්වය සහ ව්‍යාජනාමිකත්වය අන්තර්ජාලය සමඟ ඇති වූවක් නොවේ. එය අන්තර්ජාලය ලොව ඇතිවීමට බොහෝ කාලයකට පෙර සිට පැවති දෙයකි. කොටින්ම එය ‘මේ කාලයේදී ඇතිවන්නට ඇතැයි’ නිශ්චික කාල රාමුවකින් පාවා ප්‍රකාශ කිරීමට නොහැකි බව ලියුම්කරුගේ අදහසයි. නිර්ණාමිකත්වය එතරම් අතීතයට දිව යයි. මහා ගත්කරු විලියම් ෂේක්ස්පියර් යනු ව්‍යාජ-නාමයක් භාවිතා කළ පුද්ගලයෙක් බව දන්නේ සිංහල බ්ලොග් අවකාශයේ කී දෙනෙක් විය හැකිද? එමෙන්ම ඈත අතීතයේ පටන්ම නිර්ණාමිකයින් විසින් කළ සාහිත්‍ය නිර්මාණ රාශියකි. ලාංකීය සහිත්‍යයේ වුවද කතෘ වරයෙකු නොදන්නා නිර්මාණ බොහොමයක් පවතියි. උදාහරණ කීපයක් ලෙස ගිරා සංදේශය, තිසර සංදේශය යනාදිය දැක්විය හැකිය. ලියුම්කරුගේ අදහසනම් එතරම් විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණ සිදුකළ පුද්ගලයින් තමාගේ නම හෙලි නොකර සිටීමට කිසියම් හේතුවක් තිබිය යුතු බවයි.

මෑත අතීතයේ ගම්මාන වල කැලෑපත්තර ගැසුවේ කවුරුන් විසින්ද? කැලෑපත්තර ගැසුවේද නිර්-නාමිකයින් විසින්ය. විටෙක එක රචනා ස්වරූපයක් ගත්තේය. තවත් විටෙක එක කාව්‍යයමය ස්වරූපයක් ගත්තේය. විටෙක එය ගමේ ප්‍රබලයෙක්ගේ අකටයුත්තක් පිළිබඳ අනාවරණයක් විය. තවත් විටෙක එය පුද්ගලයෙක්ට සිදුකළ අභූත චෝදනාවක් විය. සෑම ක්‍රියාවකදී මෙන්ම නිර්-නාමික වීමේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇත. ගමේ කැලෑපත්තරයට වඩා බ්ලොග් අවකාශක නිර්-නාමික අදහස් දැක්වීම් වෙනස්ය. ගමේ කැලෑපත්තරයකින් කෙනෙක්ට අභූත චෝදනාවක් එල්ල කළ විට එහි සත්‍ය අසත්‍ය බව මුළු ගමටම ඔප්පුකර දැක්වීම තරමක් අසීරු කාරණයකි. නමුත් අන්තර්ජාලයේ අපට එල්ල කළ අභූත චෝදනාවකට ප්‍රති උත්තර සැපයීම පහසු කාරණයකි. එය පහසු කාරණයක් වන්නේ චෝදනාව ‘අභූත’ නම් පමණකි.

නමුත් අද සිංහල බ්ලොග් අවකාශයේ සිදුවන්නේ කුමක්ද? යමෙක් විසින් ලියූවක් නිර්-නාමිකයෙකු විසින් විවේචනය කළ පමණින් ලේඛකයා නිර්-නාමික අදහස මකා දමා නිර්-නාමික අදහස් දැක්වීම ඇති අයිතියට අගුලු දමයි. ඉන්පසු ඒ නිර්-නාමික අදහස දැමූ තැනැත්තාගේ කොඳු නාරටිය ගැන ප්‍රශ්න කරයි. නිර්-නාමික අදහස් කරුට නොසෑහෙන්න දොස් පවරයි. නිර්-නාමික අදහස් කරුවා කළ විවේචනයට ප්‍රති උත්තර නොදී මඟ හැරයයි. ඒ අතර කොඳු නාරටිය ඇතැයි කියාගන්නා ලේඛකයාගේ මිතුරු බාලයින්ද පැමිණ නිර්-නාමික අදහස්කරුට බැණ වදියි. ඒ ඔවුන්ගේ කොඳු නාරටියේ තරමය. නිර්-නාමික අදහස් කරුවා කළ විවේචනයට අදහස් දැක්වීමට කිසිවෙකුටත් උවමනාව නැත. තවත් පිරිසක් නිර්-නාමික අදහස් දැක්වීමට අවසර ලබා දී අදහස් moderate කරයි. අදහස් moderate කිරීමේ කිසිම වරදක් නැත. වරද ඇත්තේ එසේ කරන සමහර උදවිය තමාට වාසිදායක අදහස් පමණක් තමාගේ බ්ලොග් අඩවියේ පල කිරීමයි. මෙයට හොඳම උදාහරණය ලෙස ලියුම්කරු මීට සති කීපයකට ඉහතදී තමන් රැඩිකල්යැයි කියාගනිමි පම්පෝරි ගසා ගන්නා තරුණියකගේ ලිපියකට දැමූ නිර්-නාමික අදහස දැක්විය හැකියි.

“අසම්මතයට සමාජය දී ඇත්තේ වැරදි අර්ථ කතනයක් යැයි ඔබ පවසයි. මා ඔබෙන් විමසන පැනය නම් සමාජය අසම්මතයට නිවරදි අර්ථ කතනයක් දුන් තැන එය තව දුරටත් අසම්මයක්ම වේද යන්නයි? ඔබට මේ ලිපිය ලියද්දී අමතකව වී ගිය අනෙක් කාරණය නම් සම්මතය හෝ අසම්මතය පුද්ගලානුබද්ධ දෙයක් බවයි. ඔබේ ලිපියෙන් මා හට ගම්‍ය වූ එකම කරුණනම් ඔබ අසම්මතයැයි ඔබම සාදා ගත් රාමුවක් තුල ඔබේ බාහිර රූපය සහ හැසිරීම පමණක් එලෙස වෙනස් කරගැනීම තැත් කරනා බහුතර වත්මන් තරුණියන්ගෙන් එක් අයෙක් බවයි.”

මෙම අදහසේ කිසිදු අසභ්‍ය වදනක් ඇතුලක් නැත. ලියුම්කරු සිදුකලේ ඇගේ ලිපියේ අදහස ඇයටම වැටහේදැයි ප්‍රශ්න කිරීම පමණකි. නමුත් ඇය ඉහත අදහස ඇගේ බ්ලොග් අඩවියේ පල කළේ නැත. එලෙස මත වාරණය කිරීමට හේතුව කුමක් විය හැකිද? ඇයගේ ලිපිය හේතු විරහිතව ප්‍රශංසාවට ලක්කරන උන්ගේ අදහස් වෙනස් වේවි යැයි සිතාද? ඇයට ලියුම්කරුගේ ප්‍රශ්න වලට පිළිතුරු දිය නොහැකි නිසාද? ඇගේ අදහස හැමවිටම නිවැරදියැයි පාඨකයින්ට ඔප්පු කළ යුතු නිසාද?

සිංහල බ්ලොග් අවකාශයේ නිර්-නාමික මත වාරණය කරන ආකාර සහ නිර්-නාමිකයින්ට බැන වදින ආකාර කීපයක් දැක්විය හැකිය.

  1. නිර්-නාමික අදහස් සම්පූර්ණයෙන්ම වසා දමා නිර්නාමිකයින්ට බැන වැදීම.
  2. නිර්-නාමික අදහසක් වැටුනු පසු එම අදහස මකා නිර්නාමික අදහස් වසා දමා නිර්නාමිකයින්ට බැන වැදීම.
  3. නිර්-නාමික අදහසක් වැටුනු පසු අදහස මකා නොදමා නිර්නාමික අදහස් වසා දමා නිර්නාමිකයින්ට බැන වැදීම.
  4. අදහස් moderate කර තමාට වාසිදායක අදහස් පමණක් පල කිරීම.

ඉහත අවස්ථා හතරම ලියුම්කරුට අනූව ‘පාලු ගෙයි වළන් බිඳිම්’ ලෙස පොදුවේ හැඳින්විය හැකිය. කිසියම් ලේඛකයෙකු ඉහත අවස්ථාවනට එලබෙන්නේ නිර්-නාමිකයින් එල්ල කරන විවේචනය සත්‍ය නිසා සහ එම සත්‍යය අනෙක් අයගෙන් සැඟවීමට අවශ්‍ය නිසා නොවේනම් අන් කවරකටද? තමාගේ මෝඩ අදහස් සහ මතයන් බ්ලොග් හරහා පතුරා දමා එයට විරුද්ධව නඟෙන හඩ යටපත් කිරීමට විනා අන් කවරකටද?

නිර්-නාමිකත්වය වැරදිලෙසට භාවිතා කරන්නන් පිළිබඳව ලියුම්කරුට අමතක වූයේ නැත. තමන්ගේ බ්ලොග් අඩවියට වැටෙන හේතු විරහිත අසභ්‍ය වදන් මකා දැමීම අපහසු කාරණයක් නොවේය. තමන්ගේ බ්ලොග් අඩවියට අසභ්‍යවදනක් වැටුනු පමණකින් සිහි මුර්ජාවන ළඳරුවන් මේ බ්ලොග් අවකාශයේ නැති බව ලියුම් කරුගේ හැඟීමයි. එමෙන්ම තමන්ගේ විකෘති මානසික මට්ටම් පෙන්නුම් කරන නිර්-නාමික අදහස් කරුවන් ගැවසෙන හොඳම ස්ථානයක් ලෙස ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවිය දැක්විය හැකිය. හාස්‍යයට කරුණනම් එම අඩවියේදී වැරදීමකින් තමන්ගේ නිර්-නාමික සූකර ගති හෙලිවූ සමහරුන්ම ඔවුන්ගේ බ්ලොග් වල නිර්-නාමික අදහස් අවහිර කර, කිසිඳු තාර්කික බවකින් තොර මෝඩ අදහස් ඉදිරිපත් කරමින් සූකරයන් පිළිබද ලිපි ලිවීමය. එමෙන්ම ලකෆ්‍රෑන්ස් අඩවියේ පැරණි ලිපි පිරික්සූ ලියුම්කරුට කොන්ද පණ ඇතියැයි කියාගනිමින් තමන් බ්ලොග් ලියනා ව්‍යාජ-නාමය සහිත ගිණුමෙන් පැමිණ අසභ්‍ය වදන් කියන පුද්ගලයන්ද නෙත ගැටුනි. ලියුම්කරු විමසන පැනය නම් එසේ අසභ්‍ය වදන් පවසන්නන්ගේ සහ නිර්ණාමිකව පැමිණ අසභ්‍ය වදන් පවසන්නන්ගේ වෙනස කුමක්ද යන්නයි. නිර්නාමිකයින්ගේ කොන්ද ගැන ප්‍රශ්න කරනා අයගෙන් තව ප්‍රශ්නයක් අසන්නට ඇත. නිර්නාමිකයින් ගෙනන චෝදනා හෝ විවේචන අසත්‍ය නම් ඒවාට පිළිතුරු දීමට ඔබට කොන්දක් නැතිද?

අවසානයේ සිංහල බ්ලොග් අවකාශයේ කිසිඳු මතවාරණයක් සිදු නොකරන කතන්දර කාරයා වැන්නවුන්ට ලියුම්කරුගේ ආචාරය පිරිනැමේ.

References

8 comments

  1. kathandarakaraya

    මං නං කැමතිම ජාතියක් තමයි බ්ලැක් ලේබල්.
    හැමදාම නෑ, හැම තැනම නෑ.

  2. kathandarakaraya

    ඔබේ කමෙන්ටුව පල නොකල බ්ලොගය ගැන නමින් කියා නැත්තේ ඇයි?
    එය “නිර්ණාමික” බ්ලොගයක්ද?

  3. kathandarakaraya

    නිර්නාමිකයින් ගේ හෝ අසැබී ප්‍රතිචාර හෝ වාරණය කිරීම කෙසේ වෙතත් එක් අඩවියක මා දැමූ අවංක ප්‍රතිචාරයක්ද ඉවත් කළා. ඉන් පසු ඒ ගැණ දොස් කියා බ්ලොග්කරුවා විසින් සඳහනක් දැම්මා. නඩු භාණ්ඩ නැතුව දඬුවම් දුන්නා වගේ.

    මෙන්න ඒ ගැන මා ලියූ කතන්දරය:
    http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

    පසුව මා ඉහත ලිපියට ලින්ක් එකක් මුල් ලිපියේ දාන්නයි ඉල්ලූ විට දිය නොහැකි බවයි කියවුනේ.

  4. Charmi

    නිර්නාමිකත්වය හෝ ව්‍යාජනාමිකත්වය භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකයිනෙ. හොදට හෝ නරකට.
    ඒක හොඳට භාවිතා වෙන තැනදි විශිෂ්ටයි. ඒ කියන්නෙ තමුන්ට සිවිල් ජීවිතයේදී කිසිදු වාසියක් වටිනාකමක් අත් නොවෙන දැන දැනම කරන සහමුලින්ම ආචාරධාර්මික ඇක්ට් එකක්.
    නරකට භාවිතා කරද්දි අන්තිම පජාතයි. තමුන්ගෙ මානසික අවුල් අනුන් මතින් පහකරගන්න විදිහෙ අසනීපයක්.

  5. Charmi

    දැං මට තියෙන ප්‍රස්නෙ අලුතෙන් එන මොන බ්ලොග් එකට ගොඩවුනත් කකාගෙ කමෙන්ටුවක් ඒකෙ තියෙනවමයි. මේ අලුතෙන් හදන හදන බ්ලොග් සේරටම කලින් කකා දැනගන්නෙ කොහොමද අප්පා??
    🙂 🙂

  6. මාලන්

    හොඳ ලිපියක්. චාමි දාලා තිබ්බ ලින්ක් එකක් දැකලා මේ පැත්තේ ආවේ.

Leave a reply to kathandarakaraya Cancel reply